නිල නිවාස හිමි නැති කතානායකගේ පෞද්ගලික ලේකම්ට ඇමතිවරුන්ට වෙන්කළ නිල නිවාසයක්

රජයේ නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට පටහැනිව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ පෞද්ගලික ලේකම් චමීර ප්‍රියශංක ගාල්ලගේට ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති කොළඹ ලොරිස් පාරේ පිහිටි නිල නිවාසයක් ලබාදී ඇති බව අනාවරණය වේ.

කොළඹ 04 ලොරිස් පටුමගේ අංක 4-3 දරණ රජයේ නිල නිවාසය 2025.06.06 දින සිට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ප්‍රියශංක ගාල්ලගේට වෙන්කර ඇති අතර එම වෙන් කිරීම 2030.06.05 දින දක්වා හෝ කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තෙක් යන දිනයන්ගෙන් පළමුව එළඹෙන දිනය දක්වා සිදුකර ඇති බව ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් අලෝකබණ්ඩාර වෙනුවට එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේඒඒඑන් ජයවීර (නිවාස හා සංවර්ධන) විසින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් වේ.

එම නිල නිවාසය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 විධිවිධානවලට හා පොදු නිවාස සම්බන්ධයෙන් රජය විසින් වරින්වර පනවනු ලබන විධිවිධානයන්ට යටත්ව වෙන්කරන බව ඒ සම්බන්ධයෙන් වන ලිපියේ සඳහන් කර ඇතත්, 22/2006 යන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් වන උපදෙස්ය.

එම නිවස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ වැටුපෙන් 12.5%ක් කුලිය වශයෙන් ගෙවිය යුතු බව හා එම රජයේ නිල නිවස සම්බන්ධයෙන් 2025.06.08 දින අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් කොන්දේසි බලාත්මක වන බවයි.

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොළඹ ලොරිස් පාරේ පිහිටි රජයේ නිල නිවාසයක් ලබාදී ඇත්ද යන්න පිළිබඳව මැයි 05 වැනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් විමසනු ලැබුවද එයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading