විද්‍යා ඝාතන නඩුව- ස්විස් කුමාර ඇතුළු විත්තිකරුවන්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

2015 වසරේ මුළු රටම කම්පා කළ යාපනය පුන්කුඩිතීවු ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ ‘ස්විස් කුමාර’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට මහාධිකරණය ලබා දී තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තහවුරු කර තිබේ.

මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ මරණ දඬුවම තහවුරු කර තිබේ.

මහාධිකරණය ලබාදුන් තීන්දුව සාධාරණ බවත්, ඉදිරිපත් වූ විද්‍යාත්මක සහ වාචික සාක්ෂි මගින් විත්තිකරුවන්ගේ වරද සැකයකින් තොරව ඔප්පු වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නිරීක්ෂණය කරන ලදී. මෙම අපරාධයේ බිහිසුණු ස්වභාවය සහ එය සමස්ත සමාජය කෙරෙහි ඇති කළ දැඩි බලපෑම සලකා බැලීමේදී, මහාධිකරණය නියම කළ දඬුවම් වෙනස් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය විය.

ස්විස් කුමාර’ හෙවත් මහලිංගම් ශෂිකුමාර ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව තිබූ මරණ දඬුවම සහ අනෙකුත් සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තහවුරු කරන ලදී. ඔවුන්ගේ වරද සැකයකින් තොරව ඔප්පු වී ඇති බව අධිකරණයේ නිගමනය විය. මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටි අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවන බැවින් එම විත්තිකරුවන් දෙදෙනාට ලබා දී තිබූ දඬුවම් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2015 මැයි මස 13 වන දින පාසල් යමින් සිටි 18 හැවිරිදි විද්‍යා දැරිය පැහැරගෙන ගොස් අත් පා බැඳ අතිශය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්විණි.

2017 සැප්තැම්බර් 27 වන දින එම විනිසුරු මඩුල්ල විසින් නඩු විභාගය අවසානයේ තීන්දු කළේ මහලිංගම් ශෂිකුමාර නොහොත් ස්විස් කුමාර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු වරදකරුවන් බවයි. ඔවුන්ට මරණ දඬුවම සහ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම වුවද, 1976 වසරෙන් පසු එය ක්‍රියාත්මක නොවන බැවින් මෙම වැරදිකරුවන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට බොහෝ දුරට ඉඩ ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading