නාකොළගනේ නායක හාමුදුරුවන්ට කපපු කැලෑව වවන්න සල්ලි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!

නාකොළගනේ පුරාණ රාජමහා විහාරය ආශ්‍රිත වනාන්තර පද්ධතිය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් වනජීවී, පරිසර සහ බෞද්ධ කටයුතු බලධාරීන් සිය ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නේය.

එම විහාරයේ විහාරාධිපති හිමියන් එළිපෙහෙලි කළ ප්‍රදේශයේ යළි කැළෑව වැවීම සදහා වියදම් දැරිය යුතු බවත් නියෝග කෙරිණි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා අවධාරණය කළේ පරිසරය සුරැකීමේ මූලික අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරිය ඇතුළු ආයතන වගකිව යුතු බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සහ එහි නිලධාරීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම (S.C.F.R. 351/2022) ගොනු කර තිබුණි. නාකොළගනේ පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති වන වළත්වැවේ රාහුල හිමියන් (10 වන වගඋත්තරකරු) විසින් විහාරයට අයත් යැයි කියන අක්කර 1,500කට අධික වනාන්තර ප්‍රදේශයක් වාණිජ වගාවන් සහ විවිධ ව්‍යාපෘති සඳහා නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීමත්, එම ඉඩම් විවිධ සමාගම් වෙත පැවරීමත් මෙහි ප්‍රධාන චෝදනාව විය.

රාහුල හිමියන් තර්ක කර තිබුණේ “සන්නසක්” මගින් මෙම ඉඩම් විහාරස්ථානයට හිමි පෞද්ගලික දේපළක් බැවින් තමන්ට රිසි සේ කටයුතු කිරීමට අයිතියක් ඇති බවයි. එහෙත් එම සන්නස ලියාපදිංචි කළ බවට සාක්ෂි ඉදිරිපත් නොවීම සහ විහාර සන්තක ඉඩම් බෞද්ධ ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණය සිය දෝෂදර්ශනය එල්ල කළේය.

විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල විසින් පහත සඳහන් නියෝග නිකුත් කරන ලදී:

පරිසර විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය මාස දෙකක් ඇතුළත භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතුය.

විනාශ කරන ලද වනාන්තර සහ පාලුකඩවල වැවේ පෝෂක ප්‍රදේශ නැවත ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු අතර, ඒ සඳහා යන වියදම වළත්වැවේ රාහුල හිමියන් විසින් ගෙවිය යුතුය.

මතභේදයට තුඩු දුන් වනාන්තර සහ වගාබිම් ඇතුළත් හෙක්ටයාර 55ක භූමි ප්‍රදේශය වන සතුන් සඳහා වන අභයභූමියක් හෝ අලි කළමනාකරණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත යුතුය.

විහාර දේවාලගම් පනතට පටහැනිව විකුණා ඇති හෝ බදු දී ඇති ඉඩම් නැවත පවරා ගැනීමට නීතිමය පියවර ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නියෝග කෙරිණි.

මෙම සිද්ධියට අදාළ අපරාධ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

පරිසරය රැකීම සෑම පුරවැසියෙකුගේම මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද ව්‍යවස්ථාපිත වගකීමක් බවත්, ඉඩම් පෞද්ගලික වුවද ස්වභාවධර්මය විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව හරහා යළිත් තහවුරු කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading