හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති දූෂණ නඩුව ලබන ජූනි මස 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) නියම කර තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද කැඳවා ඇති අතර, එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්රණ කටයුතු අවසන් කෙරිණි. ඒ අනුව, නඩුවේ විභාගය ජූනි 17 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ විනිසුරුවරයා, එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු වෙත සිතාසි නිකුත් කිරීමට ද නියෝග කර තිබේ.
2016 වසරේ දී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කළ සමයේ සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට මෙම චෝදනා එල්ල වී ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, මෙම නඩුවට පාදක වී ඇත්තේ 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණ භූමියේ කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියකි. එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් පෞද්ගලික සමාගමකට අයුතු ලෙස වාසි සහගත වන අන්දමින් කටයුතු කර ඇති බවත්, එම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් 8,859,708 ක මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවත් සඳහන් වේ. මේ හරහා ඔහු දූෂණය නැමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.
