දශක පහකට අධික කාලයක් තමිල්නාඩු දේශපාලනයේ පැවති ද්වි-ධ්‍රැවීය ආධිපත්‍යය මුළුමනින්ම උඩුයටිකුරු කරමින්, සුපිරි නළු විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය 17 වන ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත්ව තිබේ.
සමස්ත ආසන 234කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 108ක බලය තහවුරු කරගනිමින් TVK පක්ෂය තනි විශාලතම පක්ෂය බවට පත්ව ඇත. මෙම ප්‍රතිඵලයත් සමඟ වත්මන් මහ ඇමති එම්.කේ. ස්ටාලින් නායකත්වය දෙන DMK පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වූ AIADMK පක්ෂය දරුණු පරාජයකට මුහුණ දී තිබේ.
ඒ ඒ පක්ෂ ලබා ගත මැතිවරණ ප්‍රතිඵල පහත පරිදි වේ.
| පක්ෂය | දිනාගත් ආසන | ඡන්ද ප්‍රතිශතය |
| TVK (විජේ) | 108 | 35% |
| DMK (එම්.කේ. ස්ටාලින්) | 59 | 24.19% |
| AIADMK (ඊ. පලනිසාමි) | 47 | 21.21% |
| වෙනත් | 20 | 19.60% |
මෙම මැතිවරණයේ වඩාත්ම සුවිශේෂී සිදුවීමක් ලෙස දැකිය හැක්කේ වත්මන් මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා සිය දේශපාලන බලකොටුව ලෙස සැලකෙන කොලතූර් ආසනයෙන් අතිශය අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමයි; ඔහුව පරාජය කිරීමට ටී.වී.කේ (TVK) පක්ෂයේ අපේක්ෂක වී.එස්. බාබු සමත් විය.
විජේ විසින් සිය පක්ෂය ආරම්භ කළ දින සිට අනුගමනය කළ සුවිශේෂී ස්වාධීන ගමන් මඟ මෙම පෙරළිකාර ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වූ අතර, ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ ඩී.එම්.කේ (DMK) පක්ෂය සිය ප්‍රධාන ‘දේශපාලන සතුරා’ ලෙසත්, බී.ජේ.පී (BJP) පක්ෂය සිය ‘ප්‍රතිපත්තිමය ප්‍රතිවාදියා’ ලෙසත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. මෙම සෘජු දේශපාලන ස්ථාවරයත් සමඟ සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් විකල්ප බලවේගයක් සෙවූ ජනතාව ඒකරාශී කර ගැනීමට ඔහුට හැකි විය.
ටී.වී.කේ (TVK) පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගත්තද, තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආසන 118ක සරල බහුතරය සපුරා ගැනීමට ඔවුන්ට තවත් ආසන 10ක සහාය අවශ්‍ය වේ. දැනට ආසන 108ක් ජයග්‍රහණය කර ඇති පසුබිමක, කොංග්‍රස් පක්ෂය (ආසන 5) සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් විජේගේ නායකත්වයට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වන අතර, එමඟින් සභාග රජයක් පිහිටුවීමේ හැකියාව මතු වී තිබේ.
කෙසේ වුවද, මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් විජේ ප්‍රකාශ කර සිටියේ, “මෙය තමිල්නාඩු ජනතාව වෙනසක් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක්” බවත්, තමා කෙරෙහි තැබූ එම ජනතා විශ්වාසය අකුරටම ඉටු කිරීමට කැපවන බවත්ය.
සිනමාවේ සිට සිංහාසනයට
විජේ මහ ඇමති ධුරයේ දිවුරුම් දුනහොත්, ඔහු අන්ද්‍රා ප්‍රදේශයේ හිටපු මහ ඇමති එන්.ටී. රාමාරාඕ (NTR) ට පසුව, දේශපාලනයට පිවිසි කෙටි කලකින්ම මෙවැනි දැවැන්ත ජයක් ලැබූ දෙවන නළුවා බවට පත්වනු ඇත. මීට පෙර එම්.ජී. රාමචන්ද්‍රන් (MGR) සහ ජයලලිතා වැනි නළු නිළියන් තමිල්නාඩුව පාලනය කළද, විජේගේ මෙම ආගමනය දශක කිහිපයකට පසු තමිල්නාඩු දේශපාලනයේ සිදුවූ “පරම්පරා මාරුව” ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
එසේම චෙන්නායි වැනි නාගරික ප්‍රදේශ මෙන්ම AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකුණු සේලම් සහ කොයම්බුතූර් වැනි ප්‍රදේශ ද මෙවර TVK පක්ෂය විසින් අත්පත් කරගෙන තිබීම විශේෂත්වයකි. තරුණ ඡන්දදායකයින් සහ කාන්තාවන්ගේ ආකර්ෂණය විජේ කෙරෙහි දැඩිව පැවතීම මෙම විජයග්‍රහණයේ රහස බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විජේගේ මැතිවරණ පොරොන්දු
- රැකියාවක් නොමැති උපාධිධාරීන්ට මානිකව රු. 4,000ක් ලබාදීම
- රැකියාවක් නොමැති ඩිප්ලෝමාධාරීන්ට මාසිකව රු. 2,500ක් ලබාදීම
- වයක අවුරුදු 60ට අඩු ගෘහ මූලික කාන්තාවන්ට මාසිකව රු.2,500ක් ලබාදීම
- සෑම පවුලකටම වසරකට LPG ගෑකේ සිලින්ඩර් 6ක් නොමිලේ ලබාදීම
- සෑම මනාලියෙකුටම රන් පවුමක් සහ නිල්ක් කාරියක් ලබාදීම
- උසස් ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබාදීමට නේවාසික නොකල් පිහිටුවීම
- සිිසුන්ට ඇත නොමැතිව ලක්ෂ 20 දක්වා අධ්‍යාපන ණය ලබාදීම.
- නමිල්නාඩුව මත්ද්‍රව්‍ය රනිත ප්‍රදේශයක් බවට පත් කිරීම
- සෑම පවුලකටම රු.ලක්ෂ 25 දක්වා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාදීම
- තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා ලක්ෂ 50ක් නිර්මාණය කිරීම
- කුඩා පරිමාණ ගොවීන්ගේ සියලුම වගා ණය සම්පුර්ණයෙන්ම කපා නැරීම
විජේගේ රියදුරු පුත්‍රයා විරුගම්බක්කම් අසුන දිනා ගනී
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ වඩාත්ම කතාබහට ලක්වූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට විජේගේ පෞද්ගලික රියදුරු සහ සහායක රාජේන්ද්‍රන්ගේ පුත්, ආර්. සබරිනාදන් සමත් වී තිබේ. 30 හැවිරිදි සබරිනාදන් විරුගම්බක්කම් (Virugambakkam) කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය නියෝජනය කරමිනි.
සබරිනාදන් මෙම ජයග්‍රහණය වාර්තා කළේ සිය ආසන්නතම ප්‍රතිවාදියා වූ DMK පක්ෂයේ අපේක්ෂක ඒ.එම්.වී. ප්‍රභාකර රාජා ඡන්ද 27,086ක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් කරමිනි.
සබරිනාදන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වූ දිනයේ වේදිකාව මත ඔහු හැඟීම්බරව හඬා වැටෙමින් විජේගේ දෙපා වැඳ ආශිර්වාද ලබාගත් වීඩියෝව එකල සමාජ මාධ්‍ය පුරා දැඩිව සංසරණය විය. සාමාන්‍ය පවුලක තරුණයෙකුට මෙවැනි අවස්ථාවක් ලබා දීම පිළිබඳව විජේ හට ඉහළ ඇගයීමක් හිමි වූ අතර, එම විශ්වාසය පලගන්වමින් විරුගම්බක්කම් වැසියන් සබරිනාදන් ප්‍රාන්ත සභාව වෙත තේරී පත් කර ඇත.
සබරිනාදන්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය පසුපස ඇති පවුල් පසුබිම දෙස බැලීමේදී, ඔහුගේ පියා වන රාජේන්ද්‍රන් විජේගේ මංගල සිනමා පටය වූ ‘නාලය තීර්පු’ දින සිට අඛණ්ඩව දශක තුනකට වැඩි කාලයක් විජේගේ සමීපතම සේවකයෙකු සහ විශ්වාසවන්ත රියදුරෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙම මැතිවරණයේදී ඡන්ද 76,092ක් ලබාගනිමින් සබරිනාදන් විශිෂ්ට ජයක් ලැබූ අතර, ප්‍රබල DMK අපේක්ෂකයාට ලබාගත හැකි වූයේ ඡන්ද 49,006ක් පමණි.
මෙම ප්‍රතිඵලය හරහා විජේ පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ තමන් සාම්ප්‍රදායික පවුල් දේශපාලනයෙන් ඔබ්බට ගොස්, සාමාන්‍ය ජනතාව සහ තමන්ට පක්ෂපාතී පිරිස් දේශපාලන කරළියට ගෙන ඒමට සැබෑ වුවමනාවක් ඇති බවයි. ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරිනාදන් සඳහන් කළේ, තමන් වැනි සාමාන්‍ය තරුණයෙකු කෙරෙහි තැබූ ඒ සුවිශේෂී විශ්වාසය වෙනුවෙන් විජේ හට හෘදයාංගම ස්තූතිය පුද කරන බවත්, සාමාන්‍ය ජනතාවගේ හඬ ප්‍රාන්ත සභාව තුළ නියෝජනය කිරීමට තමන් උපරිමයෙන් කැපවන බවත්ය.
