පල්ලේගම හේමරතන හිමිට බරපතල චෝදනා එල්ල වූ, බාලවයස්කාර දැරියක දූෂණය කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට !!

15 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියක්, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි විසින් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී බරපතළ ලෙස දුෂණය සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (04) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා.

එහි දී නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එකී රස පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හා අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න, ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත නියෝග කරනු ලැබුවා.

ගම්පහ පොලිස් කොට්ඨාස ළමා කාන්තා කාර්යංශයේ උපදෙස් මත නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා 22424/2026 බී අංක දරණ නඩුව මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත සිදු කරනු ලැබුවේ.

ඒ අනුව, මෙම අපරාධයෙන් අනතුරුව අදාළ දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබිය දී ගම්පහ කොට්ඨාස පොලිස් කාන්තා හා ළමා කාර්යංශය මගින් සොයා ගැනුුුණු දූෂණයට ලක් වී ඇති බව කියන 15 හැවිරිදි දැරියගේ රුධිරය තැවරුණු ඇඳුම් කිහිපයක් මෙලෙස රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අධිකරණයට කරුණු වාර්තා කළ ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සඳහන් කරනු ලැබුවේ, පසුගීය අප්‍රේල් මස 27 වන දිින ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමක දී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්ලක තම පෙම්වතා බව කියන පිරිමි පුද්ගලයකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් බවත්, මෙම 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගත් බවත් ය.

එලෙස පොලිස් භාරයට ගනු ලැබූ බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීයා හමුවට පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර, එහි දී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ස්වකීය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී තහවුරු කර ඇත්තේ දැරිය පෙර අවස්ථා කිහිපයකදීම දූෂණයට ලක්ව ඇති බවයි.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් වින්දිත 15 හැවිරිදි බාල වයස්කාර දැරියගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව සිය පෙම්වතා සහ ඥාතීත්වයෙන් තමාට මස්සිනා වන පුද්ගලයකු ද තමන්ව දූෂණය කළ බවත් හෙළි කළ බව ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා ඇති බවත්, එකී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනු ලැබූ ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කරනු ලැබුවේ මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එම විමර්ශන වල ප්‍රගතිය දැත්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ නමුත්, මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සහකාර පොලිස් අධිකාරීවරයකු සහ ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතිය ඇතුළු විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ දින කිහිපයක් අනුරාධපුරයේ රැඳී සිටිමින් මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පල්ලේගම හේමරතන හිමි වැඩ සිටින අදාළ විහාරස්ථානයට ගොස් උන්වහන්සේගෙන් පැය 3 කට අධික කාලයක් දීර්ඝව ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, විහාරාධිපති හිමියන් මෙම අපරාධය සිදු කළ බව කියන විහාර ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා වින්දිත බාල වයස්කාර දැරියද එම ස්ථානයට රැගෙන විත් විමර්ශනයක් සිදු කොට ඇති බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

තව ද විමර්ශනවලට අදාළව ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළුව තවත් පාර්ශ්වවලින් මේ දිනවල අඳාළ විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායම ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමිනම මුලින්ම තමාව දුෂණය කිරීමෙන් අනතුරුව රුධිරය තැවරුණ ඇඳුම් තමන් විසින් වළ දැමූ බව දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම් දී ඇති බවත් අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් වූ කරුණු අතර වනවා.

මීට අමතරව, දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි බාලවයස්කාර දියණිය එම හිමියන්ට ලබා දී ඇති බවද මූලික පොලිස් විමර්ශන වල දී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාළ වින්දිත බාලවයස්කාර දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටින බවත්, මෙම සිද්ධියට අදාළව මුලික විමර්ශන නිට්ටඹුව පොලිසිය මගින් අරඹා ඇති බවත්, මෙම සිද්ධියේ මුල්ම අපරාධමය සිදුවීම අනුරාධපුරයේ දී සිදුවී ඇති බවට අනාවරණ වීම නිසා එහි වැඩිදුර වීමර්ශන කටයුතු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබාදුන් නියෝගයකට අනුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ගම්පහ කොට්ඨාස භාර ළමා හා කාන්තා කාර්යංශයට පවරා විමර්ශනවල අධික්ෂණ පොලිස්පතිවරයා යටතට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ දී සඳහන් වූ කරුණු අතර වනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading