ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති පියංකර ජයරත්න සඳහා එළැඹෙන මැයි 12 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ එම එයාර් බස් ගනුදෙනුව හරහා අල්ලස් වශයෙන් ලැබුණු මුදල් එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි.
ඒ අනුව, සැකකාර කපිල චන්ද්‍රසේන යන අය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනක දී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ දී සහ කාල්ටන් නිවසේ දී ඔහු වෙත ලබා දුන් බව අල්ලස් කොමිසම හමුවේ සඳහන් කළ බවයි පසුගිය නඩුකරයේ දී අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.
2013 වසරේ දී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් A-330 ගුවන්යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන්යානා 08ක් මිලට ගැනීමේ දී, අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබෙනවා.
එහි දී ඒ සම්බන්ධයෙන් වන විමර්ශනවලින් අනතුරුව, කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහුගේ බිරිය ප්‍රියංකා විජේනායක වෙත සහ හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වෙත ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන නීතිඥ මනෝජ් ගමගේ ‘දිනමිණ’ පුවත්පත වෙත දැනුම් දී ඇත්තේ, අල්ලස් කොමිසම මඟින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු නිල දැනුම් දීමක් හෝ නොතීසියක් හිටපු ජනාධිපතිවරයා වෙත එවා නොමැති බවයි.
ඒ අනුව, එම සිද්ධියට අදාළ පුද්ගලයාට අදාළ කැඳවීම සම්බන්ධයෙන් දැනුම් දෙනු වෙනුවට තම හිතවත් මාධ්‍ය වෙත දැනුම් දීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කර ඇති බවත්, එමඟින් එහි ඇති අරුත පැහැදිලිව පෙන්නුම් කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවල දී නීත්‍යනුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවත් සඳහන් කරමින් නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ, අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් වන බවයි.
අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබා නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබුවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති පියංකර ජයරත්නට ද කිසිදු නිල දැනුම් දීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
