නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් (NDB) ආයතනය තුළ සිදුවූ මහා පරිමාණ අභ්‍යන්තර වංචාවක් හේතුවෙන් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරන ලද 2026 වසරේ පළමු කාර්තුවට (1Q) අදාළ මූල්‍ය වාර්තා මගින් මේ බව අනාවරණය කර ඇත.
බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර ඇස්තමේන්තුවලට අනුව, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවෙන් සිදුව ඇති සමස්ත බලපෑම රුපියල් බිලියන 13.2 ක් ලෙස ගණන් බලා ඇත. මෙම බලපෑම කාලානුරූපව වසර කිහිපයක් පුරා විහිදී ගොස් ඇති අතර, 2025 ජනවාරි 01 දිනට පෙර රුපියල් බිලියන 0.91 ක් ද, 2025 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 9.62 ක් ද වශයෙන් එය බෙදී යයි.
එසේම 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ පළමු කාර්තුව සඳහා පමණක් රුපියල් බිලියන 2.67 ක මූල්‍ය බලපෑමක් මෙයින් එල්ල වී තිබේ. මෙම දැවැන්ත මූල්‍ය අලාභය හේතුවෙන් බැංකුවේ මීට පෙර ප්‍රකාශිත ලාභාංශ පවා සංශෝධනය කිරීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.04 ක සිට රුපියල් බිලියන 5.90 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.
මෙම අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන ආයතන සමඟ සමීපව කටයුතු කරන බව පවසන NDB බැංකුව, ඒ පිළිබඳ වෝහාරික පරීක්ෂණ පවත්වන ඉන්දියාවේ Deloitte Touche Tohmatsu India LLP (Deloitte) ආයතනය වෙත සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කරයි. මෙම වංචාවට වගකිව යුතු සියලුම පාර්ශ්වයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, එවැනි නීතිමය පියවරයන් හරහා නැවත ලබාගත හැකි වන අරමුදල් පිළිබඳව ඉදිරි මූල්‍ය ප්‍රකාශන මගින් අනාවරණය කරන බවත් බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තාවලට අනුව, 2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ අදාළ කාලසීමාව තුළ සියලුම ප්‍රධාන ආදායම් මාර්ගයන්හි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව, බැංකුවේ දළ ආදායම රුපියල් බිලියන 26.4 ක් දක්වා සියයට 15 කින් ඉහළ ගොස් ඇති අතර, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 9.05 ක් ලෙස සියයට 14 ක වර්ධනයක් වාර්තා කර ඇත. එමෙන්ම, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 2.19 ක් දක්වා සියයට 25 කින්ද, සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 12.76 ක් දක්වා සියයට 21 කින්ද ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 11.01 ක් ලෙස සටහන් වෙමින් සියයට 31 ක ඉහළ වර්ධන වේගයක් සනිටුහන් කිරීම විශේෂත්වයකි.
