අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව, ග්‍රීක බැඳුම්කර නඩුවට අදාළ අධිකරණ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පත්කර ඇති මෙම විනිසුරු මඬුල්ල සඳහා, මනෝජ් තල්ගොඩපිටිය, උදේශ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල යන මහාධිකරණ විනිසුරුවන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් මෙරට රජයට රුපියල් බිලියන18 කට අධික පාඩුවක් කිරීම හේතුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් වෙත මින් පෙර අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගනු ලැබුවා.
ඒ අදාළ පාඩුව පියවීම සඳහා රුපියල් කෝටි 184 කට අධික මුදලක් වන්දියක් ලෙස ගෙවීමට කොන්දේසියක් පැනවීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත්, අධිකරණය විසින් නියම කරන ලද කාලය තුළ එම මුදල ගෙවීම අජිත් නිවාඩ් කබ්රාල් විසින් පැහැර හැරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමකින් අනතුරුවයි මෙලෙස නැවත නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි එම සමයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීසියේ රජයේ බැඳුම්කරවල යුරෝ මිලියන ගණනක ආයෝජනයක් සිදු කරන ලද අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ආයෝජනය කළ මුදලින් විශාල කොටසක් මෙරටට අහිමි ව ගියා.
එම අවස්ථාව වන විටත් ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි බව, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ග්‍රීක බැඳුම්කර ඉතා අවදානම් සහගත මට්ටමේ පවතින බවට වන අනතුරු ඇඟවීම්, මෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ සහ විපක්ෂයේ දැඩි විරෝධයන් මධ්‍යයේ සිදු කළ මෙම ආයෝජනය 2012 වසරේ ග්‍රීක ආර්ථිකය කඩා වැටීමත් සමඟ අසාර්ථක වනු ලැබුවා.
ඒ අනුව, මෙම ගනුදෙනුව දූෂිත අරමුණින් සිදු වූවක් බවටත්, මහජන මුදල් අවභාවිතයක් බවටත් චෝදනා එල්ල වූ අතර, එම චෝදනාවේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු ලෙස එවක මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නම් කරනු ලැබ තිබුණා.

නියමයී.! මාසයක් වත් ගත්තේ නෑ හැබැයී. කලින් ඉවර වෙලා ආපූ දවසෙ ඉඳන්ම ලෑස්තිවෙන්න ඇති සිරාවටම. අල්ලස් කොමිසම ගැන ලොකු පැහැදීමක් තියනවා රටට.!!