මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදක් සඳහා මාස තුනක සිරදඬුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඔසඳ සංජීව නමැති බන්ධනාගාර සිරකරුවකු මිය යෑම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.
ලබන 26 වැනිදා බන්ධනාගාරයෙන් නිදහස්වීමට නියමිතව සිටි මරණයට පත් වූ 40 හැවිරිදි මෙම සිරකරු සහ තවත් දෙදෙනකු ඊයේ (03) බන්ධනාගාරයෙන් පිටත පවිත්‍රකිරීමකට යොමු කර ඇති අතර, මෙම පුද්ගලයා එහි දී පලා ගොස් ඇති බවත්, අනතුරුව බොරැල්ල වෝඩ් පෙදෙසේ දී නැවත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනුම් දෙමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුඩ්ලර් සඳහන් කරනවා.
කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පොර බැදීමක් සිදුවී ඇති බව ද වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.
මෙම සිද්ධියෙන් අනතුරුව යම් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අදාළ සිරකරු ඊයේ (04) රාත්‍රීයේ දී මරණයට පත්ව තිබෙනවා.
ඒ අනුව එලෙස මරණයට පත්වීමට අදාලව බන්ධනාගාර නියාමකවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනු ලැබුවේ, හෙට දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන බවත්, සිද්ධියට අදාලව පහරදීමක් අනාවරණය වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් ය.
කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ සී ගජනායක සඳහන් කළේ සිරකරුවා මිය ගොස් ඇත්තේ අසනීපයක් හේතුවෙන් බවත්, ඔහුට කිසිඳු පහරදීමක් සිදුකර නොමැති බවත් ය.

ගහල මරල අපි නොදන්න ජේලර්ලා