මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි ! විදුලිය, ඛනිජ තෙල්, ගෑස් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මකයි !!

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය, තවත් මසකින් දීර්ඝ කිිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබෙනවා‍.

මේ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

මෙම මහජන හදිසි අවස්ථා තත්ත්වයට සමගාමීව, ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක වන බව මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

තව ද විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සේවාවන්, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවාවන් රැසක් ද මෙමඟින් තවදුරටත් මාසයක කාලයක් සඳහා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබීම විශේෂත්වයක්.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ඊයේ (28) නිකුත් කරනු ලැබ තිබුණා.

Author

Related Posts