තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) හා ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර, විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අත්සන් කෙරුණු මෙම ගිවිසුම මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පර්යේෂණ නිලධාරීන්ගේ සහ විද්‍යාඥයින්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුමට අදාළ සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසරේ සිට 2031 වසර දක්වා කාලය තුළ කෘෂිකර්මය, ස්වභාවික සම්පත් කළමනාකරණය, ජලජ සම්පත්, ආහාර නවෝත්පාදනය සහ පෝෂණය, දේශගුණ විපර්යාස හා තිරසර සංවර්ධනය, ආපදා කළමනාකරණය, තිරසර ශක්ති පද්ධති, නගර සැළසුම්කරණය සහ මහජන ප්‍රතිපත්ති වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර යටතේ දර්ශනපති (M.Phil.) සහ ආචාර්ය (Ph.D.) උපාධි පර්යේෂණ සඳහා ශිෂ්‍යත්ව අවස්ථා හිමිවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙම ගිවිසුමට අනුව මෙකී වැඩසටහන සඳහා AIT ආයතනය 35% ක විශේෂ අධ්‍යයන ගාස්තු සහනයක් ලබා දෙන අතර, ඉතිරි මූල්‍ය දායකත්වය බාහිර මූල්‍ය ආයතන හරහා ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙකී ගිවිසුම සඳහා ශ්‍රී ලංකාාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි සහ අධ්‍යක්‍ෂ (ජාත්‍යන්තර සබඳතා) ගීතානි කන්නන්ගර යන අය අත්සන් තබා ඇති අතර, ආසියානු තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් එහි උප සභාපති මහාචාර්ය සිද්ධාර්ත් කේ. ජබාඩේ අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.
ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශාස්ත්‍රීය, තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම වර්ධනය කරමින් රටේ ස්ථායී සංවර්ධනයට දායක විය හැකි වෘත්තීයවේදීන් බිහි කිරීම මෙම ගිවිසුමේ මුඛ්‍ය අරමුණු අතර ප්‍රමුඛ අරමුණක් වන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.
