භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක් වංචා කෙරූ හැකර්වරුන්ගේ ක්‍රියාකලාපය හෙළිවෙයි ! ඉන්දියාට යා යුතු මුදලකුත් ගන්න උත්සාහ කරලා !!

ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා පරිමාණ සයිබර් වංචාවකට හසුවීමේ සිද්ධිය සිදු වී ඇත්තේ, 2025 වර්ෂයේ අගභාගයේ දී බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව අනාවරණය කළ ලේකම්වරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය ණය කළමනාකරණ ඒකකය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබූ අවධියක මෙම ගැටලුව මතු වූ බවයි.

කෙසේ නමුත්, ඉන් පසුවද යම් කාලයක් මුළුල්ලේ මෙම වංචනික ක්‍රියාව අඛණ්ඩව සිදුවී ඇති අතර, සයිබර් අපරාධකරුවන් විසින් මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත විකෘති කර ව්‍යාජ තොරතුරු ඇතුළත් ලියකියවිලි ඉදිරිපත් කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවයි ලේකම්වරයා සඳහන් කරනු ලැබුවේ.

මෙම වංචනික උත්සාහයක් පිළිබඳව මුදල් අමාත්‍යාංශයට ප්‍රථම වරට තොරතුරු ලැබී ඇත්තේ 2026 ජනවාරි මාසයේ දී වන අතර, ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශන පවත්වා දත්ත තහවුරු කරගැනීමෙන් අනතුරුව, මාර්තු මාසයේ දී මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පැමිණිලි කර ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ.

මුදල් අමාත්‍යාංශය විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු මත පදනම්ව, අදාළ පරිපාලන සහ මුදල් රෙගුලාසි උල්ලංඝනය කළ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව මේ වන විට නිසි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, පරීක්ෂණ කටයුතුවලට බාධා විය හැකි බැවින් මේ පිළිබඳව වැඩිදුර තාක්ෂණික තොරතුරු හෙළි කළ නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කරනු ලැබුවා.

මෙය ජාත්‍යන්තර මට්ටමේ සංවිධානාත්මක අපරාධයක් විය හැකි බව පෙන්වා දුන් මුදල් අමාත්‍යංශ හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර එකඟතා මත මෙහි විමර්ශන කටයුතු සඳහා විදේශීය රටවල සහයෝගය ද ලබාගන්නා බවයි අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ.

මේ අතර, නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ, සයිබර් හැකර්කරුවන් විසින් සිදු කරන ලද මෙම සොරකමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා බලධාරීන් මේ පිළිබඳව සිදු කරමින් පවතින විමර්ශනය සඳහා සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත හෙළි කරනු ලැබුවේ, මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල් වංචනික ලෙස ලබාගත් හැකර්වරුන්, ඉන්දියාවට ගෙවීමට තිබූ ණය මුදලක් ද එම ආකාරයෙන්ම ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව මහා භාණ්ඩාගාරය සහ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය අතර සිදුවූ ඊමේල් ණිවිඩ හුවමාරු පද්ධතිය සයිබර් අපරාධකරුවන් විසින් බිඳ දමා, ණය හිමියාට ලැබිය යුතු මුදල් වංචනික ලෙස හැකර්වරුන්ගේ ගිණුම් වෙත හරවාගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කරනු ලැබුවේ, සඳහන් කළා.

කෙසේ වෙතත්, ගිණුම් අංකවල වෙනසක් සිදුවන බව හඳුනාගත් වහාම මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුවත් කළ බවත්, ඒ අනුව සිදුකළ දීර්ඝ පරීක්ෂණවලින් අනතුරුව අදාළ මුදල් හැකර්වරුන් සතු වී ඇතැයි තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. .

අමාත්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ, මෙරට මූල්‍ය ආරක්ෂාව බිඳ වැටී ඇති බව පවසමින් හා ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර වී ඇති බවට චෝදනා කරමින් විපක්ෂය සහ විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

Author

Related Posts