ජාතික ජන බලවේගය සිය මැයි දින සැලසුම් වෙනස් කර ඇති අතර මැයි දින රැළි සහ පාගමන් දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්වීමට සූදානම් වෙයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ගැටලු පවතින නිසා මෙලෙස දිස්ත්‍රික් මට්ටමෙන් මැයි රැළි පැවැත්වීමට සූදානම් වෙන අතර, ඔවුන් මීට පෙර යාපනය, කොළඹ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ මැයි රැළි තුනක් පැවැත්වීමට ගෙන තිබුණු තීන්දුව වෙනස් කර තිබේ. ප්‍රධාන සියලු දිස්ත්‍රික්කවල මැයි රැළි පවත්වන අතර බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකම ඒකාබද්ධ කොට මලයහ දෙමළ ජනතාව මුල් කරගත් ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්වීම ගැන සාකච්ඡා කර තිබේ.
මෙවරද ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැළිය වෙනුවට ජාතික ජන බලවේගය නියෝජනය කරන මැයි රැළි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 2022 වර්ෂයෙන් පසු මැයි රැළි පවත්වා නොමැත.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ හැකි තරම් සෙනග මේ සියලු මැයි රැළිවලට ගෙන්වීමට අපේක්ෂා කරන බවයි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, කේඩී ලාල්කාන්ත, ටිල්වින් සිල්වා සහ වසන්ත සමරසිංහ ඇතුළු නායකයන් ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක මැයි රැළිවලට සහභාගී වීමට නියමිතය.
එක් නායකයෙකු ප්‍රකාශ කළේ ප්‍රධාන නගරවල පා ගමන් අවසන් කොට තාවකාලිකව සැකසූ අට්ටාලවල සිට කතා පැවැත්වීමට අදහස් කරන බවත්, දැවැන්ත තනි මැයි දින වේදිකා සැකසීමට බලාපොරොත්තු නොවන බවත්ය. කෙසේ වෙතත් ඇතැම් දිස්ත්‍රික්කවල දසදහස් ගණනක සෙනගක් ගෙන්වීමට අපේක්ෂා කරන බවත්, එමගින් අති දැවැන්ත ජනතා සහයෝගයක් ජාතික ජන බලවේගයට තිබෙනවායැයි පෙන්වීමට අපේක්ෂා කරන බවත් ඔහු කීය.
