ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා සහ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පදනම් කරගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කුමාර ජයකොඩි මහතා චර්යාධර්ම සංග්‍රහයේ තුන්වැනි කොටසේ හයවැනි වගන්තියේ ඇති මහජන විශ්වාසය කඩ කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි ව්‍යවස්ථාවට අනුකූලව තමන් සතු මූලික යුතුකම් ඉටු කිරීමට අපොහොසත් වීමත් හරහා සිය ස්ථාවරය කඩ කර ඇති බවයි. විශේෂයෙන්ම ලක්විජය බලාගාරය සඳහා ප්‍රමාණවත් සහ ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීමට අපොහොසත් වීමත්, ඒ සම්බන්ධයෙන් දැක්වූ දැඩි නොසැලකිලිමත්භාවයත් හේතුවෙන් මන්ත්‍රීවරයා සිය වගකීම් පැහැර හැර ඇති බව අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම, නොවැම්බර් 25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පැවරුණු ආයතනික කළමනාකරණ මට්ටමේ වගකීම් සහ තාක්ෂණික හානි අවම කිරීමේ කාර්යයන් ඉටු කිරීමට මන්ත්‍රීවරයා ක්‍රියා කර නොමැති බවටද එහිදී චෝදනා එල්ල විය. මීට අමතරව, ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරණ කටයුතුවලදී සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබීම මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන හේතුවක් වී තිබේ.
අදාළ චෝදනා මගින් මන්ත්‍රීවරයා ජනවරම පාවා දී ඇති බවත්, යහපාලන මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් ප්‍රකාශ කළ අජිත් පී. පෙරේරා මහතා, මෙම කරුණු සලකා බලා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සභාවට දන්වා සිටියේය.
ඔහු සිය කතාවේදී පහත අදහස් දැක්වීය.
ඔවුන් කිව්වා ගල් අඟුරු නැව් නවයක් ආවා කියලා. නවයම බාලයි කියලා. මෙයින් පාඩුවක් වෙනවා කියලා. ගහන්න පුළුවන් දඩයත්, මෙයින් සිදුවෙන පාඩුවත් අතර පරතරයක් තියෙන බව ඔවුන් කීවා. රුපියල් බිලියන අටයි දශම හතරයි නවයක් අතර පාඩුවක් සිදුවෙන බව ඔවුන් කිව්වා. ඩීසල් විදුලි ඒකකයක් සඳහා හැටදෙකයි සත පනහක් කියලා එදා ඩීසල් මිල අනුව ගණන් හදලා කිව්වේ. එදා කිව්වා ඔව් පාඩුවක් වුණා. හැබැයි වංචාවක් වුණේ නෑ. අපි තමයි හරි ක්‍රමයට ටෙන්ඩර් දැම්මේ කිව්වා. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා.
එම වාර්තාව අනුව ඇමතිවරයා මෙතෙක් කියපු සියලු කරුණු වැරදි බව සනාථ වුණා. එම වාර්තාව අනුව ගල් අඟුරු බාලයි. ටෙන්ඩර් පටිපාටිය වැරදියි. තෝරගත්ත ක්‍රමවේදය වැරදියි. තෝරගත්ත සමාගමට ශක්තිය නෑ. ප්‍රශ්නය ඇති වූ විට, පාර්ලිමේන්තුවේදී දැනුම් දුන් විට මේ ඇමතිවරයා ඒ පිළිබඳ සංවේදී නොවී කටයුතු කිරීම පිළිබඳ විගණකාධිපති වාර්තාවේ සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. අද වෙනතුරු වාර්තාව පිළිබඳ කිසිම අභියෝගයක් නෑ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුවිය හැකි පාඩුව ගැන, පරිසරයට වෙන හානිය ගැන, අමාත්‍යවරයා වගකීම පැහැර හැරලා තිබීම ගැන සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගැන වචනයක්වත් තර්කානුකූලව අභියෝග කිරීමට ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. මේ පිළිබඳ විගණකාධිපතිවරයා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ විට එයට අසමත් වෙලා තියෙනවා. හුදු ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාවක් නෑ. මේ ඇමතිවරයාට මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මුලින් නිලධාරියෙකුව සිටියදී පොහොර සංස්ථාවේ මිලදී ගැනීමේ කළමනාකරු විදියට කටයුතු කළ කාලයේදී ඔහු පත්වීම ගත්තේ වත්මන් ජනාධිපති කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී. එය යාළුවාව පත් කර ගැනීමක්. ඔහු එකල කළ ප්‍රසම්පාදන වංචාවක් ගැන කොළඹ මහාධිකරණයේ HC 481/2026 දරන මහාධිකරණ නඩුව අධිචෝදනා ගොනු කළා අල්ලස් පනතේ හැත්තෑවෙනි වගන්තිය යටතේ. දූෂණය කියන වරද ඉදිරිපත් වුණ තැනැත්තෙක් කැබිනට් මණ්ඩලය තුළ සිටීමම නොගැලපෙනවා.
මේ ටෙන්ඩරය ජයග්‍රහණය කළා කියන ට්‍රයිඩන්ට් චෙම්පර් සමාගම මීට කලින් ලංකාවේ ආණ්ඩුවට සහල් මෙට්‍රික් ටොන් තිස්දාහක් සැපයීම පිළිබඳ ක්‍රියාවලිය දූෂණය කිරීම සම්බන්ධව බ්ලැක්ලිස්ට් කරපු සමාගමක්. ඒ වගේම මේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ සුප්‍රකට දූෂණය පිළිබඳ නඩුවක් වන දිල්ලි ලිකර් ලයිසන් නඩුවේදී අත්අඩංගුවට ගත් තැනැත්තෙක්. ඒ සමාගමේ ලංකාවේ නියෝජිත සමාගමේ ප්‍රධානියා ක්‍රිකට් සම්බන්ධ දූෂණයකට වරදකරු වුණා. ඔහුට වසර හතකට ක්‍රිකට්වලින් තහනම් කරලා තියෙනවා. අනෙක් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ජනවාරි මාසයේදී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අය කවුද කියන එක අපරාධ ඉතිහාසයක් තියෙන සමාගමක්. මෙය ඉන්දියාවේ අපකීර්තිමත් සමාගමක්. ඉන්දියාවේ දේශපාලනය තුළ අප්‍රකට සමාගමක්. මේ සමාගමට ටෙන්ඩරය යනතුරු බලා ඉන්න කටයුතු කළා.
මේ ප්‍රශ්නය යද්දී ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් පත් කරපු ගල් අගුරු සමාගමේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නා. ඒ ලිපියේ තියෙන්නේ මෙම වරද සම්බන්ධව ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධව අනාගතයේ ඇතිවෙන නීතිමය වගකීම්වලට මට යටත් වෙන්න බෑ. අමාත්‍යාංශයේ ලේකම්වරයා වැරදි ප්‍රමාණයක් කරනවා. ඒ නිසා අස් වෙනවා කියලා. ඔහු ඉල්ලා අස්වීමේ ලිපි දෙකක් දුන්නා. තවම තියෙනවා ගල් අගුරු සමාගමේ. ඇමති දන්නේ නැත්නම්, අමාත්‍යාංශ ලේකම් කරන දෙයක් නම් තමන් පත් කරපු සභාපති කියනකොට මම අස් වෙනවා කියලා, ඒ ගැන හොයා බලන්න ඕනෑ. එහෙම කරන්නේ නැතිව සභාපතිගෙන් ඉල්ලුවා පලවැනි ලියුම ඉවත් කරවාගෙන සෞඛ්‍ය හේතු මත කියලා තවත් ලියුමක් දෙන්න කියලා. මේ ලියුම් දෙකම ගල් අගුරු සමාගමේ තියෙනවා.
