අප්‍රේල් හත්වැනිදා රාත්‍රියේ ශිෂ්ඨාචාරයක් නැති වනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු හගවා ඇත.
ඔහු විසින් සිය ටෘත් සෝෂල් ගිණුමේ පළ කළ ප්‍රකාශයක මෙසේ සදහන් වෙයි.
‘මුළු ශිෂ්ටාචාරයක්ම අද රෑට නැති වෙලා යයි, ආයෙ කවදාවත් ඒක තිබුණු තත්වයට යන එකක් නෑ. මට අවශ්‍ය නැහැ ඒ දේ වෙන්නට. හැබැයි ගොඩක් වෙලාවට ඒක වෙයි. කොහොම වුණත්, දැන් සම්පූර්ණයෙන් පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුවෙලා තියෙන හින්දා – එතනදි වෙනස්, තව බුද්ධිමත්, අන්තවාදී නැති අය දිනා ඇති හින්දා – සමහර විට හරිම ලස්සන විප්ලවීය දෙයක් වෙන්න පුළුවන්, කවුද දන්නේ? ලෝකයේ දිගු වගේම සංකීර්ණ ඉතිහාසයේ වැදගත්ම මොහොතක් අපිට අද රෑට දැකගන්න පුළුවන් වෙයි. අවුරුදු 47ක කප්පම් ගැනීම්, දූෂණය සහ මරණීය පාලනය අන්තිමේදි ඉවර වෙයි. ඉරානයේ විශිෂ්ඨ ජනතාවට දෙවියන්ගේ පිහිටයි!‘
මෙයට මේ වන විට ලොව පුරා ක්‍රියාධරයන්, දේශපාලඥයන් ඇතුළු පිරිස් විරෝධය පළ කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභිගෝගයකින් ඉවත් කළ යුතු බවට හඩ නගා ඇත. විශේෂයෙන්ම හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් සහායිකාවක වන හිටපු කොංග්‍රස් සභික මාජරි ටේලර් ග්‍රීන් එයට මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.
“25 වැනි සංශෝධනය!!! ඇමරිකාවට එක බෝම්බයක්වත් වැටිලා නැහැ. අපිට සම්පූර්ණ ශිෂ්ටාචාරයක් මරා දමන්න බැහැ. මෙය නපුරු සහ උමතු දෙයක්.”
ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනයේ 4 වැනි වගන්තියට අනුව, ජනාධිපතිවරයාට සිය ධුරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි (unable) බව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ බහුතරය තීරණය කරන්නේ නම් ඔහුව ඉවත් කළ හැකිය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුධ අපරාධ සිදු කිරීම සදහා දෙනු ලබන නියෝග ඇමෙරිකානු හමුදා නිලධාරීන් ක්‍රියාත්මක නොකළ යුතු බවටද සංවාදයක් ගොඩනැගී තිබේ.
සැබෑ ලෙසම මේ වෙද්දී ඩොලන්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදුකර ඇති තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදා නිලධාරීන් උභතෝකෝටිකයකට ඇද දමා ඇත. එනම් අණ නොතකා හැරීම හෝ යුද අපරාධ සිදු කිරීමට සහාය වීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදු වීමයි.
පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබුණේ ඉරානයේ සිවිල් හා යටිතල පහසුකම්වලට පහර දෙන බවයි.
“අපි ඔවුන්ගේ සෑම විදුලි උත්පාදන මධ්‍යස්ථානයකටම ඉතා තදින් සහ බොහෝ විට එකවර පහර දෙනවා,” යැයි ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රචලිත කරන ලද පෙර සූදානම් කළ ප්‍රකාශයක සඳහන් කර තිබුණි.
ඉරාන වැසියන් මිලියන 93 කගේ ජීවනෝපායට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම යුද අපරාධයක් වන බවට නීති විශාරදයින් සියල්ලන් එකග වෙයි. ඒ ගැන විවාදයක් නැති තරම්ය.
“එවැනි වාචික ප්‍රකාශයන් – ඒවා ක්‍රියාත්මක කළහොත් – බරපතලම යුද අපරාධ ගණයට වැටෙනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හමුදා සාමාජිකයින් දැඩි අභියෝගාත්මක තත්ත්වයකට පත් කරයි,” යනුවෙන් හිටපු විනිසුරු ඇඩ්වොකේට් ජනරාල් (JAG) නිලධාරීන් දෙදෙනෙකු වන මාග්‍රට් ඩොනොවන් සහ රේචල් වැන්ලැන්ඩින්හැම් යන දෙදෙනාගේ ප්‍රකාශ ‘ජස්ට් සිකියුරිටි’ (Just Security) වෙබ් අඩවියේ ලියා තිබුණි.
“ඉලක්කගත මෙහෙයුම් සම්බන්ධයෙන් උපදෙස් දුන් හිටපු හමුදා නීති උපදේශකයන් ලෙස, ජනාධිපතිවරයාගේ වචන හමුදා නිලධාරීන් දශක ගණනාවක් තිස්සේ ලබා ඇති නීතිමය වගකීමට පටහැනි බවත්, එය අපගේ සෙබළුන්ට කිසිදා හැරෙන්නට බැරි මාවතකට ඔවුන් යොමු කරන බවත් අපි දන්නවා.” යනුවෙන් ඔවුන් ලියා තිබුණි.
ඉරානය “ශිලා යුගයට” (Stone Ages) යන තෙක් බෝම්බ හෙලන බවට ට්‍රම්ප් කළ පුරසාරම සහ ඔහුගේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් “කිසිදු සහනයක් හෝ දයාවක්” (no quarter, no mercy) නොපෙන්වන ලෙස දුන් නියෝගය “පැහැදිලිවම නීති විරෝධී” පමණක් නොව, එය එක්සත් ජනපද හමුදා නිලධාරීන් තම මුළු වෘත්තීය ජීවිතය පුරාම අනුගමනය කිරීමට බැදී සිටින සදාචාරාත්මක හා නීතිමය මූලධර්ම බිඳ දැමීමක් බව ඔවුහු පෙන්වා දුන්හ.
මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය චාලි කාපෙන්ටර් පැවසුවේ, සෙබළුන් නියෝග ප්‍රශ්න කළ, ඒවා පිළිපැදීම ප්‍රතික්ෂේප කළ හෝ යුද අපරාධ නැවැත්වීමට මැදිහත් වූ බොහෝ ඓතිහාසික උදාහරණ ඇති බවයි.
ඇය උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ 1968 වියට්නාමයේ මයි ලායි සමූලඝාතනයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ එක්සත් ජනපද සොල්දාදුවන් සහ අපරාධකරුවන්ට වෙඩි තබන බවට තර්ජනය කළ සිදුවීමයි.
වියට්නාම වැසියන් සිය ගණනකට වෙඩි තැබීමට තම සෙබළුන්ට නියෝග කළ නිලධාරි ලුතිනන් විලියම් කැලි, තම යුද අධිකරණ පරීක්ෂණයේදී තර්ක කළේ තමන් නියෝග පිළිපැද්දා පමණක් බවයි. එහෙත් එවැනි නියෝග “පැහැදිලිවම නීති විරෝධී” බැවින් එය විත්තිවාචකයක් නොවන බව අධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔහුට දඩුවම් ලැබුණි.
දැන් ඇති ප්‍රශ්නය නම්, ඉරාන විදුලි බලාගාර සහ පාලම්වලට බෝම්බ හෙලීමේ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එයට එරෙහිව අධිකරණ විමර්ශනයකට මුහුණ දුනහොත්, ඒ නියෝග “පැහැදිලිවම නීති විරෝධී” බව තමන් බෝම්බ හෙළන මොහොතේදී දැන නොසිටියේයැයි තර්ක කළ හැකිද යන්නයි.
කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් සාමාජිකයින් නොවැම්බර් මාසයේදී වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජනපද හමුදා සාමාජිකයින්ට “ඔබට නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කළ හැකිය, ඔබ ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය” යැයි පැවසූ විට, ට්‍රම්ප් ටෘත් සෝෂල් හරහා ඔවුන්ට චෝදනා කළේ එය “මරණ දණ්ඩනය ලැබිය හැකි රාජද්‍රෝහී හැසිරීමක්” ලෙස හඳුන්වමිනි.
නීතියට අනුව සෙබළුන් ප්‍රතික්ෂේප කළ යුත්තේ ‘පැහැදිලිවම නීති විරෝධී’ (manifestly unlawful) නියෝග පමණි – එනම් සාමාන්‍ය බුද්ධියක් ඇති පුද්ගලයෙකුට වැරදි බව වැටහෙන තරමට අතිශයින්ම නීති විරෝධී නියෝගයි.
කෙසේ වෙතත් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද නියෝගයක් නීතිවිරෝධී එකක් නොවන බවට ඔප්පු කිරිමට හැකිවුණොත් ඔවුන් නියෝග ප්‍රතික්ෂේප කරන නිසාත් අමාරුවේ වැටීමට සිදුවනු ඇත. ඒ නිසාම ඇතැම් නිලධාරීන් නියෝග ප්‍රතික්ෂේප කිරිමට බියක් දක්වයි.
පසුගිය වසරේ වැඩ භාරගත් දා සිට හෙග්සෙත්, පෙන්ටගනයේ ඉහළම නීති උපදේශන නිලධාරීන් ඉවත් කර තිබේ. බයිඩන් පරිපාලනය විසින් පිහිටුවන ලද සිවිල් හානි අවම කිරීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විසුරුවා හැර ඇත. අණදෙන දාමයේ සිටින නිලධාරීන්ට වඩාත් නිවැරදි නීති උපදෙස් ලබා ගැනීමේ කටයුත්ත ලෙහෙසි පහසු නොවනු ඇත.
සාමාන්‍ය සොල්දාදුවන්ට අවසාන විකල්පය ලෙස “GI අයිතිවාසිකම් ක්ෂණික ඇමතුම් අංකය” ඇමතිය හැකි අතර, ට්‍රම්ප් පරිපාලනය යටතේ එවැනි ඇමතුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෑත දිනවලදී ට්‍රම්ප්ගේ තර්ජන දැඩි කිරීම ප්‍රවණතාවකි. ABC වාර්තාකරුවෙකුට පැවසුවේ ඉරානය ඔහුගේ ඉල්ලීම් ඉටු නොකළහොත් “අපි මුළු රටම පුපුරවා හරිනවා” යනුවෙනි. ඔහු මේ වෙද්දී මානසිකව රෝගී වූ උමතුවෙන්, ඊගෝවෙන් සහ විනාසකාරී හැගීම්වලින් පිරුණු පුද්ගලයෙකු බවට පත් වී සිටී.
ප්‍රහාරයට සීමාවන් තිබේදැයි විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “ඉතා අඩුවෙන්” යනුවෙනි.
ට්‍රම්ප්ගේ තර්ජනවල පවතින අන්තගාමී බව සහ ඔහු තුළ වැඩෙන නොසන්සුන්තාවය නිසා, මෙම චංචල ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට උත්සාහ කරනු ඇතැයි යන බිය වැඩි වී තිබේ.
එක්සත් ජනපද ක්‍රමවේදය යටතේ, න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා නියෝග දීමේ තනි අධිකාරිය ජනාධිපතිවරයා සතුය. එසේ කිරීම සඳහා ඔහු ජාතික හමුදා අණදෙන මධ්‍යස්ථානයේ ආරක්ෂක සාකච්ඡාවක් කැඳවනු ඇති අතර, සාමාන්‍යයෙන් ඊට ආරක්ෂක ලේකම් සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරියා වැනි ඉහළ නිලධාරීන් සම්බන්ධ වේ. නමුත් එය කෙටි දැනුම්දීමකින් සම්බන්ධ විය හැක්කේ කාටද යන්න මත රඳා පවතී.
ජනාධිපතිවරයා අසලම සිටින හමුදා සහායකයෙකු “න්‍යෂ්ටික පාපන්දු” (nuclear football) ලෙස හැඳින්වෙන බෑගය විවෘත කරනු ඇත. එහි න්‍යෂ්ටික ප්‍රහාරක විකල්ප මෙන්ම ඔහුගේ ජනාධිපති අධිකාරිය තහවුරු කිරීමේ කේතයන් ද අඩංගු වේ.
එම නියෝගය නැවැත්විය හැකි එකම ක්‍රමය නම්, අණදෙන දාමයේ සිටින පුද්ගලයින් එය නීති විරෝධී නියෝගයක් බවට තීරණය කිරීමයි.
2021 ජනවාරි මාසයේදී එවකට ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලි, ට්‍රම්ප්ගේ නොසන්සුන් හැසිරීම ගැන කෙතරම් කනස්සල්ලට පත්ව සිටියේද යත්, න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධ ඕනෑම තීරණයකට තමන්ව සම්බන්ධ කර ගන්නා ලෙස ඔහු සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැවසූ බව වාර්තා වේ.
න්‍යෂ්ටික අවි පිළිබඳ විශේෂඥයෙකු සහ මොන්ටෙරේ හි මිඩ්ල්බරි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ජෙෆ්රි ලුවිස් පැවසුවේ, මීට පෙර ට්‍රම්ප් න්‍යෂ්ටික භාවිතයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳව යම් බියක් දැක්වූ බවයි. නමුත් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඔහුට යුද්ධය මෙන්ම ඔහුගේ මානසික සමතුලිතතාවයත් එකවර අහිමි වන විට ඒ බිය කෙතරම් දුරට පවතීදැයි මම දන්නේ නැහැ.”
අණදෙන දාමයේ සිටින යමෙකු මැදිහත් වී ට්‍රම්ප්ව නැවැත්වීමට කටයුතු කරාවියැයි විශ්වාස කරනවාද කියා විමසූ විට ලුවිස් කෙටියෙන් පිළිතුරු දුන්නේ “කිසිසේත්ම නැත” යනුවෙනි.
“ඔහු තමන්ට විරුද්ධ විය හැකි යැයි හැගෙන සියලු දෙනාව හමුදාවෙන් ක්‍රමානුකූලව ඉවත් කර තිබෙනවා,” ඔහු පැවසීය.
