ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්තුවට! සභාගත කළත්, පිටපත් මන්ත්‍රීලාගේ මේසවල තියලත් නෑලු!

ආන්දෝලනයට ලක් වී ඇති ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් කථානායක ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. එහෙත් එහි පිටපත් මන්ත්‍රීවරුන්ගේ මේස මත නොමැති වීම පිළිබද විපක්ෂය විරෝධය මතු කරන ලදී.

වාර්ෂික විගණන වාර්තාව සභාගත කිරිමෙන් පසු, මෙම විශේෂ වාර්තාව සභාගත කළ අතර කථානායකවරයා එය සභාගත කරමින් මෙසේ පැවසීය.

‘154 ප්‍රකාරව විගණකාධිපති වාර්තාවේ 10 වැනි කාණ්ඩයේ ලක්විජය බලාගාරය සදහා ලංකා ගල් අගුරු සමාගම විසින් ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025- 2026 වාරය සදහා ගල් අගුරු ප්‍රසම්පාදනය පිළිබද විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමි.‘

සභානායක බිමල් රත්නායක විසින් ප්‍රකාශ කළේ එකී වාර්තාව මුද්‍රණය කළ යුතු බව යෝජනා කරන බවයි.

කෙසේ වෙතත් එයින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ මෙම වාර්තාව සභාගත කරන බව කීවත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව තවමත් එහි පිටපත් මන්ත්‍රීවරුන්ගේ මේස මතට පැමිණ නැති බවය. අප්‍රේල් 09 සිකුරාදා මේ පිළිබද විශ්වාසභංගයක් විවාදයට ගැනීමට තිබියදී වාර්තාව ලබා නොදීම ගැටලුවක් බව ඔහු ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ද පැවසුවේ මෙය බරපතල ගැටලුවක් බවයි. අද දිනයේ මෙම විෂයට අදාල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමක්ද තිබෙන බව ඔහු සිහිපත් කළේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading