කොක්කුතුඩුවායි ජනතාවගේ ගොවි ඉඩම් අල්ලා ව්‍යාපාරිකයෙකුට දීලා! ජනතාව මහපාරට

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතුඩුවායි ගම්මානයේ ගොවීන් සහ ධීවරයින් පිරිසක්, කුංජුක්කල්වේලි කුඹුරු ඉඩම්වල පාරම්පරිකව දෙමළ ගොවීන්ට අයත් භූමියක ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට දරන උත්සාහයට එරෙහිව ඉරිදා විරෝධතාවයක නිරත වූහ.

එම ජනතාවගේ කෝණයෙන් බැලූ කළ යුද්ධයෙන් අහිමි වූ සිය පාරම්පරික ඉඩම්- දකුණෙන් පැමිණි පෞද්ගලික සමාගමකට ලබා දී ඇත. එම සමාගම ප්‍රදේශයේ කෘෂිකාර්මික ඉඩම් අත්පත් කරගනිමින් ලුණු ලේවායන් ඉදිකිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. ගොවියන්ට සිය ඉඩම් අහිමිවීමේ බිය මත මෙම විරෝධය සංවිධානය කර ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් සිය ගොවිතැන් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වන බවත්, අසල ඇති කොක්කිලායි කලපුව මත යැපෙන ජනතාවගේ ජීවනෝපායට තර්ජනයක් වන බවත් ප්‍රදේශයේ ගොවීන් සහ ධීවරයෝ අනතුරු ඇඟවූහ.

විරෝධතාවය පැවැත්වුණේ කුඹුරු ඉඩම් ලුණු ලේවායන් බවට පත් කෙරෙමින් පවතින බව කියන කොක්කුතුඩුවායි, කුංජුක්කල්වේලි ප්‍රදේශයේදීය. මෙම ඉඩම් වර්ෂා ජලයෙන් වගා කෙරෙන, ඓතිහාසිකව දෙමළ පවුල් සතු සහ ඔවුන් විසින් වගා කරන ලද ඉඩම් බව ප්‍රදේශවාසීහු පැවසූහ. පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම් පවරා ගැනීම හේතුවෙන් දෙමළ ගොවීන්ට එහි වගා කිරීමට තිබූ අයිතිය අහිමි වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඇතුළු බලධාරීන් විසින් ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානයක් සඳහා අවසර ලබා දුන්නේ කෙසේදැයි විරෝධතාවයට සහභාගී වූවෝ ප්‍රශ්න කළහ.

ඉඩම් පරිපාලනයේ පවතින ද්විත්ව ප්‍රතිපත්තිය පිළිබඳව විරෝධතාකරුවෝ මෙහිදී කරුණු පැහැදිලි කළහ. දෙමළ ගොවීන් තමන්ගේම ඉඩම් වගා කිරීමට උත්සාහ කිරීමේදී මීට පෙර අත්අඩංගුවට පත්වීම්වලට මුහුණ දී ඇති නමුත්, සිංහල ව්‍යාපාරිකයෙකුට මෙම ලුණු ව්‍යාපෘතිය කරගෙන යාමට අවසර ලබා දී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

දීර්ඝ කාලයක් තිස්සේ වගා කළ කුඹුරු ඉඩම් ලුණු ලේවායන් බවට පත් කිරීමෙන් පස ස්ථිරවම විනාශ විය හැකි බවත්, එමගින් අනාගතයේදී විශාල ප්‍රදේශයක් කෘෂිකර්මාන්තයට නුසුදුසු වනු ඇති බවත් ගොවීන් අනතුරු ඇඟවූහ.

ප්‍රදේශයේ ධීවරයින් ද මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳව සිය කනස්සල්ල පළ කළහ. ධීවරයින් දහස් ගණනක් කොක්කිලායි කලපුව මත යැපෙන බවත්, අවට ප්‍රදේශයේ ලුණු ලේවායන් පිහිටුවීමෙන් කලපුවේ සංවේදී පරිසර පද්ධතියට බාධා එල්ල විය හැකි බවත් ඔවුහු පැවසූහ.

විරෝධතාකරුවන්ට අනුව, ජල ප්‍රවාහයේ වෙනස්වීම් සහ ලවණතාවය ඉහළ යාම නිසා මත්ස්‍ය අභිජනන ප්‍රදේශවලට හානි සිදු විය හැකි අතර මත්ස්‍ය සහ ඉස්සන් ගහනය අඩුවීමට ද එය හේතු විය හැකිය.

මෙම විරෝධතාවය පැවැත්වුණේ ප්‍රාදේශීය බලධාරීන්ගේ මැදිහත්වීම මධ්‍යයේය. මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාර්තු 10 වැනි දින මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින්, මෙම ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසත් ඉඩම්වල අයිතිය සහ භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අදාළ ස්ථානයේ වැඩකටයුතු තවමත් සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. ඉඩම් තවමත් අත්පත් කරගෙන ඇති බවත්, ලුණු නිෂ්පාදනය සඳහා සූදානම් කිරීමක් ලෙස කුඹුරුවලට ජලය පොම්ප කරමින් පවතින බවත් විරෝධතාකරුවෝ චෝදනා කළහ.

ප්‍රදේශයේ ඉඩම් අයිතිය පිළිබඳ ඓතිහාසික පසුබිම ද ප්‍රදේශවාසීහු මෙහිදී සිහිපත් කළහ. 1984 වසරේ කොක්කුතුඩුවායි ගම්මානයේ සිදු වූ සමූලඝාතනයකින් පසු ශ්‍රී ලංකා හමුදාව දෙමළ වැසියන් ප්‍රදේශයෙන් පලවා හැරිය බව ඔවුහු පැවසූහ. බොහෝ පවුල් දශක ගණනාවක් තිස්සේ අවතැන්ව සිටි අතර ඔවුන්ට නැවත පැමිණීමට අවසර ලැබුණේ 2011 වසරේදීය.

තමන් අවතැන්ව සිටි කාලය තුළ දෙමළ ගොවීන්ට අයත් ඉඩම්, රජයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වූ ජනාවාස යෝජනා ක්‍රම යටතේ සිංහල පදිංචිකරුවන්ට ලබා දී ඇති බව විරෝධතාකරුවෝ පැවසූහ.

සන්නද්ධ ගැටුම් අවසන් වීමෙන් පසුව ද ඉඩම් අත්පත් කර ගැනීම දිගටම සිදුවන බවත්, විශේෂයෙන්ම මහවැලි “L” කලාපීය සංවර්ධන ව්‍යාපෘතිය හරහා පාරම්පරික දෙමළ ඉඩම් සිංහල පදිංචිකරුවන්ට බෙදා දීමට පහසුකම් සලසා ඇති බවත් ඔවුහු වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.

එබැවින්, මෙම යෝජිත ලුණු කර්මාන්තශාලා ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ දෙමළ ඉඩම් අයිතීන් ක්‍රමයෙන් අහිමි වීම පිළිබඳව ප්‍රදේශවාසීන් තුළ පවතින දීර්ඝකාලීන බිය සහ කනස්සල්ල තවදුරටත් තීව්‍ර වී ඇත.

(Tamil Guardian ලිපියක් ඇසුරිනි. ඡායාරූප කනපතිපිල්ලෙයි කුමනන්ගේ ට්විටර් ගිණුමෙන්)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading