අල්ලස් නඩුව වෙනුවෙන් කුමාර ජයකොඩි 27 කොළඹ මහාධිකරණයට කැදවයි! 

ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වන දූෂණ නඩුවට අදාළව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට ලබන මාර්තු 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එදිනට අමාත්‍යවරයාට එරෙහි අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතය.

අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, ගිවිසුම්ගත පෞද්ගලික සමාගමකට අයුතු ලෙස මූල්‍ය ලාභයක් ලබා දීම හරහා රජයට රුපියල් මිලියන 8.8කට වැඩි පාඩුවක් සිදු කිරීමය. ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුව, පොහොර සමාගම් පරිශ්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වන සමාගමක් පළමුව බැංකු ඇපකරයක් (Bank Guarantee) ඉදිරිපත් කළ යුතුය.

එවැනි බැංකු ඇපකරයක් ලබා ගැනීමකින් තොරව, ව්‍යාපෘතියේ සමස්ත වටිනාකමෙන් 20%ක් වන රුපියල් මිලියන 8.8කට අධික මුදලක් අත්තිකාරම් ලෙස අදාළ සමාගමට මුදා හැර ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කුමාර ජයකොඩි මහතා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ කාල සීමාවේදීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading