ලංකාවේ ක්‍ෂුද්‍රමුල්‍ය ප්‍රශ්නය – මූල්‍ය කොම්පැනි වලින් පොලී මුදලාලිට, නියාමනය අසාර්ථකයි…

ලංකාවේ කාන්තාවන්ගෙන් ලක්ෂ 60ක් විතර අවධානම්, අඩු-ආදායම් ජනතාව. ක්‍ෂුද්‍රමුල්‍ය, පොලී කාරයින්ගේ ණය, සමෘද්ධි ණය, සමුපාකාර ණය… මේ වගේ ණය වැලක ඔවුන් හිර වෙලා ඉන්නවා. මේවා එකිනෙකාගෙන් වෙන් වෙලා තියෙනවාට වඩා ඒකාබද්ධ වෙලා තියෙන ණය.

ක්‍ෂුද්‍රමුල්‍ය කියන්නේ එහෙම ණයෙන් ණයට යන්නම සකස් වුනු ණය ක්‍රමයක්. ණය වැලක් හදන එක තමයි බිස්නස් මොඩෙල් එක. වෙළෙඳපල පොලී අනුපාතවලට වඩා ඉහල පොලී අනුපාතයකට – 28%, 30%, 35% – මාසික හෝ සති වාරික ලෙස නිකුත් කරන ණයක්. ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා දුන්නාට ණය සහන කාලයක් නැහැ. සති ණයක් නම් ණය නිකුත් කරලා සතියකින් ණය එකතු කරනවා. මාසික වාරික නම් ණය එකතු කරන්නේ මාසිකව. ඉල්ලපු මුළු ණය මුදලම ණය ඉල්ලුම්කාරියට ලැබෙන්නෙත් නැහැ. ලියකියවිලි/ ඉන්සුරන්ස්/ තැම්පතු කියලා කපාගෙන අවශ්‍යය මුදලට අඩු ගණනක් තමයි අතට ලැබෙන්නේ.

ඉතින් සතියකින්/ මාසෙකින් ණය ගෙවන්න තව ණය ගන්න එක අනිවාර්යයි. පළමුවෙන් ණය ගද්දි කවුරුත් දන්නේ නැහැ කොහොමද මේ ණය ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි කරන්නෙත් නැහැ. නොදැනුවත්කම, මුදල් සඳහා ඇති දැඩි අවශ්‍යතාවය ප්‍රයෝජනයට අරන් ණය දෙනවා. ණය හිර වුනාම තව ණය දෙනවා. තව ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනි හඳුන්වා දෙනවා, ඒවගෙනුත් ණය ගන්න. කාලයක් ගිහින් හොදටම ණය හිර වුනාම LOLC ඉදිරිපත් වෙලා තියෙනවා ඇරියස් ණය ඔක්කොම ගෙවන්න පුද්ගලික ණය දෙන්න, ඉඩමේ ඔප්පුව තියාගෙන. පැහැදිලිවම LOLC දන්නවා ණය ගන්නේ ණය ගෙවන්න. ඒත් දෙනවා. මුදල් අයකරගැනීමේ නීතිය ඔවුන්ගේ පැත්තේ. ණය පිලිබඳ සදාචාරය – ගත්තා නම් ණයක්, ගෙවන්න ඕන – එයාලගේ පැත්තේ. ආණ්ඩු එයාලගේ පොකට් එකේ.

මම ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයෝ එක්ක වැඩකරන්න පටන් ගත්තේ 2019 ආන්තිම කාලේ ඉදන්. ක්‍ෂුද්‍රමුල්‍ය ප්‍රශ්නය පිලිබඳ ඉගෙන ගන්න මිනිස්සු පළමුවෙන් හමු වුනේ 2017. 2017, 2019-2021 කාලේ වෙද්දී ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත කාන්තාවෝ අධික විදිහට ණය වෙලා හිටියේ මහ බැංකුව නියාමනය කරනවා කියන මුල්‍ය කොම්පැනි වලට. LOLC, කොමර්ෂල් ක්‍රෙඩිට්, කොමර්ෂල් ලීසිං, HNB ෆිනෑන්ස්, නේෂන් ලංකා, මක්න්ටයිල් ඉන්වෙස්ට්මන්ට් … මිනිස්සු නම් කරා ණය දුන්න කොම්පැනි හැටියට. ඒ ණය ගෙවාගන්න බැරි නිසා රිෆයිනෑන්ස් කරන්න යෝජනා කරලා කොම්පැනි එව්ව ලියුන් පෙන්නුවා.

2020/ 21 විතර වෙද්දි ණය නොගෙව්වොත් නඩු දානවා කියලා එවපු එන්තරවාසි පෙන්නුවා. ආපහු 2025 මේ මිනිස්සු හමුවෙන්න යද්දී, එයාලට සමහර කොම්පැනි නඩු දාලා. ගෙවන්න බැරි වාරික නියම කරලා. සමහර වාරික ගෙවීම් ආපහු මඟ ඇරිලා. 2019ට වඩා විශේෂ 2025 අලුත් ණය ලෙස සඳහන් වෙන්නේ ගිනි පොලී කාක්කන්ගෙන් ලබා ගන්න ණය. නාගරිකව අඩු ආදායම් මිනිස්සු එක්ක වැඩකරන කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වේ නාගරිකවත් තත්වේ මෙසේ බවයි.

ක්‍ෂුද්‍රමුල්‍ය පනත, ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදයේ මුල්, එය විකාශනය වූ තත්වය සැලකිල්ලට ගත්තේ නැහැ. නොයෙක් වර අපි දිගට දිගට කිව්වත්, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව අපිට ඇහුන්කන් දුන්නේ නැහැ. NPP ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් මේ කාරණය ‘දන්නේ නැහැ, ඇහුනේ නැහැ’ වගේ හැසිරෙනවා. පාර්ලිමේන්තු විවාදය ඒකට ඔනෑ තරන් උදාහරණ සපයනවා. ඔවුන් උත්සහ කරන්නේ ගැටලුව ඇත්තේ නියාමනය නොවන සංවිධාන එක්ක බව පෙන්වන්න. මහ බැංකුව තම නියාමන වගකීම පැහැර හැරීම/ අසමත් වීම හංගනවා.

පොලී මුදලාලි දුප්පත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආදී කාලයේ ඉඳලා. බ්‍රිතාඥ ආණ්ඩුව ලංකාවේ සමුපාකාර ව්‍යාපාරය හඳුන්වා දෙන්නේ පොලී කාක්කන්ට විසඳුමක් විදිහට. මහජන බැංකුව හැදුවා සමුපාකාර ණය ක්‍රම වඩා විධිමත්ව වඩා හොදට කරන්න. ක්‍ෂුද්‍රමුල්‍යත් හඳුන්වා දුන්නා දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න.

අවුරුදු 100කට වඩා පස්සෙත් අපි දන්නවා පොලී කාක්කෝ දෙගුණ තෙගුණ වෙලා ඉන්නවා මිසක් අඩු වෙලා නැහැ. සමුපාකාර වල සිට, ක්‍ෂුද්‍රමුල්‍ය දක්වාත්, සමෘද්ධි දක්වාත් මිනිස්සුන්ට සහනදායි, ගැලපෙන, පොලී කාක්කන්ට ඉඩ හදන ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න ශ්‍රී ලංකාවේ ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. NPP ආණ්ඩුව සම්මත කරපු පනත පේනවා දෙන්නෙත් ඔවුනුත් විශාල පරාජයක් අත්විදින්න නියමිත බවයි.

ගැටලුව තියෙන්නේ ආණ්ඩු පරාජය වීම නොවෙයි. ඔවුන් ඉදිරිපත් කරන අසාර්ථක පනත් දුප්පත් මිනිස්සුන් මරණෙට තල්ලු කිරීමයි. ආණ්ඩු හිතුවක්කාර ලෙස තමන්ගේ මිතුරන්ගේ අපේක්ෂා ඉටු කරන්න සම්මත කරන පනත් නිසා මිනිස්සු මැරෙනවා. 2016 ක්‍ෂුද්‍රමුල්‍ය පනත ගෙනාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු කාලේ වුනාට මැරුනේ දුප්පත් කාන්තාවෝ. 2016 පනතේ දුර්වලකම් ගැන කියලා NPP එකට ලකුණු දාගන්න බැරි ඒ නිසයි. 2026 පනතේ සිදුරු වලින් රිංගන LOLC, HNB ෆිනෑන්ස් නිසාත්, නියාමනය අසාර්ථක වීම තුලින් තර වෙන පොලී කාක්කන් නිසා ආපහු මැරෙන්නේ දුප්පත් කාන්තාවෝ.

අද NPP ආණ්ඩුවේ මන්ත්‍රීවරු පම්පෝරි ගහනවා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය ඔවුන්ගේ ආණ්ඩුව තුල බව. සංඛ්‍යාත්මක නියෝජනය ලංකාවේ අව/ අඩු වරප්‍රසාදිත කාන්තාවන්ට කිසිම වැඩක් නැහැ කියන එක තමයි මාර්තු 04 පාර්ලිමේන්තු විවාදය තුලින් ඔවුන් පෙන්වා දුන්නේ. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත කාන්තාවෝ බොහෝ විට ඔවුන්ගේ කතා තුල සංවේදීබව ඉහල දාන්න යොදා ගත්තත්, කිසිම කෙනෙක් ඇත්තටම බිමට බැහැලා ක්‍ෂුද්‍රමුල්‍ය ප්‍රශ්නේ පිලිබඳ දැනගන්න උත්සහ කරලා නැහැ. වින්දිත කාන්තාවෝ එක්ක කතා බහ කරන්න, ප්‍රශ්නේ දැනගන්න අවස්ථා ලැබුණු මන්ත්‍රීවරියොත් හැසිරුනේ පනත දේව වාක්‍ය විදිහට සලකමින්. කාන්තා නියෝජනය වැදගත් වන්නේ කාන්තා ශරීර පාර්ලිමේන්තු පුටු වල අසුන් අරන් ඉන්න නිසා නොවේ. කාන්තා නියෝජිතයෝ කාන්තාවන්ගේ අපේක්ෂා/ අවශ්‍යයතා කොතරම් රාජ්‍යය ප්‍රතිපත්ති වලට ගෙනියන්න උත්සුක වෙනවාද කියන එක මත. පක්ෂේ රකින්න පනත් ගෙනෙන්න තියෙන උනන්දුව කාන්තාවෝ රකින්න යෙදවෙන කොට.

නැතුව, ‘අපි බහුතරයක් කාන්තාවෝ’, ‘අපිට සලකන්න ඕන’, ‘අපිව රකින්න ඕන’ ආදී කතා වලට හිනා වෙනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ.

ක්‍ෂුද්‍රමුල්‍ය කියන්නේ තාමත් කාන්තාවෝ බලගන්වනවා, දුප්පත්කම දුරලනවා කියලා ප්‍රචාරය වෙන ණය ක්‍රමයක්. හැබැයි ක්‍ෂුද්‍රමුල්‍ය පිලිබඳ අවුරුදු 20-30ක අත්දැකීම් තියෙන මිනිස්සු ක්‍ෂුද්‍රමුල්‍ය හඳුන්වන්නේ ‘මර ණය’ හැටියට.

කාන්තාවෝ බහුතරයක් පාර්ලිමේන්තු ඉන්න වත්මන් ආණ්ඩුවේ නායකත්වයෙන් සම්මත වෙන පනත් මර ණය බලගන්වනවා. වින්දිත කාන්තාවෝ වලපල්ලට යවනවා.

අමාලි වෙදගෙදර

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading