සලේට DO! නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලි හදා ප්‍රහාර සිදුකළාට ළගදීම නඩු!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහුට දින අනූවක රැදවුම් නියෝගයක් ලබා දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ත්‍රස්තවාදය වැළැක්විමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සුරේෂ් සලේව අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට නියමිතය.

මෙහිදී 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාලව වැඩිදුර කරුණු සොයා ගැනීමට නියමිතය.

එහිදී විමර්ශන සිදු කරන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂ්මි ප්‍රමුඛ කල්ලියට ආධාර අනුබල සහ රැකවරණ ලබා දෙමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම දක්වා ඔවුන්ව මෙහෙයවා ඇති බවට දැනට ලැබී ඇති සාක්ෂි ඔස්සේය. දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අත්අඩංගුවේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන්ද මෙම විමර්ශනවලදී වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය. සුරේෂ් සලේ ඇතුළු හමුදා සහ බුද්ධි අංශ කණ්ඩායම්වල අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ තවත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස පිල්ලෙයාන් කණ්ඩායම හදුනාගෙන තිබේ.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම, ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතුවලට විවිධ ආකාරයෙන් බාධා පැමිණවීම හෝ වැදගත් තොරතුරු හිතාමතා වසන් කිරීම පිළිබඳව ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබුණි.

මීට අමතරව, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව වැනි විදෙස් මාධ්‍ය ආයතන සහ විවිධ දේශීය පාර්ශ්වයන් විසින් මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත පසුබිම පිළිබඳව ඔහුට සෘජුවම ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කළ කරුණු ද මෙම අත්අඩංගුවට ගැනීමට සහ ඒ ඔස්සේ සිදුකෙරෙන ගැඹුරු විමර්ශනවලට ප්‍රධාන හේතුවක් වී ඇති බව පැවසේ. චැනල් ෆෝ නාළිකාවට අදහසම් දැක්වූ අසාද් මවුලානාගේ ප්‍රකාශයන්ද විමර්ශනයට අදාල ප්‍රධාන සාක්ෂියකි.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් (TMVP) පක්ෂයේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වූ අසාද් මවුලානා, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හරහා ප්‍රබල හෙළිදරව්වක් කළේය. එහිදී ඔහු කියා සිටියේ 2019 පාස්කු ප්‍රහාරයට පෙර, 2018 වසරේදී එවකට බුද්ධි අංශ ප්‍රධානියෙකුව සිටි සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම අතර හමුවක් තමන් විසින් සම්බන්ධීකරණය කළ බවයි.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 (Channel 4) නාලිකාව විකාශය කළ ‘Sri Lanka’s Easter Bombings’ වාර්තා වැඩසටහන මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා බරපතළ හා ආන්දෝලනාත්මක චෝදනා රැසක් කරළියට පැමිණියේය. එහිදී මතු කළ ප්‍රධානතම කරුණක් වූයේ මෙම ප්‍රහාරය හුදෙක් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් පමණක් නොව, එවකට ලංකාවේ බලය ලබා ගැනීම සඳහා රට තුළ මහා පරිමාණයේ අනාරක්ෂිත භාවයක් සහ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

විශේෂයෙන්ම, සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම මෙහෙයවීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් එවකට බුද්ධි අංශ නිලධාරියෙකුව සිටි සුරේෂ් සලේ මහතා සෘජුවම මැදිහත් වූ බවට අසාද් මවුලානා විසින් එම වැඩසටහන හරහා සාක්ෂි සහිතව චෝදනා කරන ලදී. තවද, ප්‍රහාරයෙන් පසුව ද සත්‍ය තොරතුරු යටපත් කරමින් සහ විමර්ශන කටයුතු නිසි පරිදි සිදු කිරීමට ඉඩ නොදී දේශපාලනමය වශයෙන් ආරක්ෂා කරමින් තොරතුරු වසන් කිරීමට කටයුතු කළ බව ද එම අනාවරණය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාල ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂි දෙමින් එම ප්‍රහාරය සිදු වූ කාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය ඉවත් කොට සාක්ෂියක් ලබා දී තිබුණි. එහිදී පවසා තිබුණේ තමා සුරේෂ් සලේව හොදින් දන්නා බවයි. ඔහු නැගෙනහිර පිළිබද කරුණු කියද්දී තමන් හොදින් එයට ඇහුම්කන් දෙන බවයි. 1984 සිට එල්ටීටීඊයට විරුද්ධව මුස්ලිම් කණ්ඩායම් ඇති කිරිමේදී සුරේෂ් සලේ ක්‍රියාත්මක වූ බවයි. කණ්ඩායම් ගණනාවකට ඒ ආරක්ෂක අංශවලින් ආධාර උපකා කළ බවයි. ඒ ගැන හොද දැනුමක් සලේට තිබුණු බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading