රනිල්ගේ නඩුව අයින් කරගන්න කුමන්ත්‍රණයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික එක්සත් රාජධානියේ සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ දියත් වෙමින් පවතින බව කියන සියුම් කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ‘වට්නිව්ස්’ වෙත වාර්තා වේ.

එළඹෙන ජනවාරි 28 වනදා මෙම සිද්ධියට අදාළව නඩු පැවරීමට නියමිතව තිබියදී, හදිසියේම කරළියට පැමිණි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ වාර්තාවක් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර හැසිරීම් හරහා මෙම සැකය තවදුරටත් තීව්‍ර වී ඇත.

මෙම සතියේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර සිටියේ මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් පවතින බවත්, විමර්ශන භාරව සිට ඉවත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (DSG) වසන්ත පෙරේරා මහතා විසින් රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසමින් පිටු හයක වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්ය.

මෙහිදී බරපතලම ප්‍රශ්නය මතු වන්නේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ළඟම ඥාතීත්වයක් ඇති විජේවර්ධන පවුලට අයත් විජය පුවත්පත් සමාගමේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත, නඩු පැවරීමට ඔන්න මෙන්න තිබියදී මෙම පුවත නිර්මාණය කරන්නේ කාගේ වුවමනාවටද? මෙය හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයක් නොව, නීතිපතිවරයාට නඩුව ඉල්ලා අස්කර ගැනීමට හෝ යටපත් කිරීමට අවශ්‍ය “මහජන මතය” (Public Opinion) සැකසීමේ මෙහෙයුමක් ලෙස පෙනී යයි. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමේ පවුලේ වගකීම මාධ්‍ය සදාචාරයට වඩා ඉහළින් ඔසවා තැබීමට සන්ඩේ ටයිම්ස් කටයුතු කර තිබීම විමතියට කරුණක් නොවේ.

අප වෙත ලැබෙන විශ්වාස කටයුතු තොරතුරු වලට අනුව, මෙම නඩුව මෙහෙයවීමේ වගකීමෙන් දැනටමත් ඉවත්ව සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළා යැයි කියන පිටු හයක වාර්තාව ගැන වර්තමානයේ නඩුව භාරව සිටින නිලධාරීන් පවා දැනුවත් වී නැත. රාජකාරියෙන් ඉවත් වූ නිලධාරියෙකු හදිසියේම විත්තිකරු බේරාගැනීමට වාර්තා ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයද?

වඩාත් සැකසහිත කරුණ වන්නේ, වත්මන් විමර්ශන භාර අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරිය හැකි බවට නිර්දේශ කරමින් නීතිපතිවරයා වෙත යොමු කළ වාර්තාවට අත් වී ඇති ඉරණමයි. පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිගොනුව පරීක්ෂා කොට නැවත ලබා දීම අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙමින් පවතී.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි, නීතිපතිවරයා මෙම ලිපිගොනුව වෙනත් කනිෂ්ඨ නීතිඥවරයෙකු වෙත යොමු කර ඇත්තේ නඩු පැවරීම වැළැක්වීම සඳහා වන තාක්ෂණික කරුණු (Loopholes) සොයා ගැනීමටය. මෙය සෘජුවම විත්තිකරුගේ වාසියට නීතිය නැමීමකි.

මීට දින කිහිපයකට පෙර ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඇතුළු රනිල් වික්‍රමසිංහගේ නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා හමු වී සාකච්ඡා කර තිබීමද මෙම සැකය තවදුරටත් තහවුරු කරයි. විමර්ශනයට සම්බන්ධ නිලධාරීන් තුළ බියක් පවතින්නේ, නීතිපති දෙපාර්තමේන්තුව සතු රහස්‍ය ලිපිගොනු සහ තොරතුරු රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් අතට පත්වීමේ අවදානමක් ඇති බවයි. නීතිපතිවරයා සහ විත්තිකරු අතර පවතින පංතිමය හා සමාජීය සම්බන්ධතා (Class solidarity) යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හරහට සිටින බව මෙයින් පැහැදිලි වේ.

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම විමර්ශනය සඳහා බ්‍රිතාන්‍යයට ගිය ගමන පිළිබඳව නීතිපතිවරයා දක්වන අසාමාන්‍ය උනන්දුවද ප්‍රශ්නකාරීය. තිළිණි රණසිංහ නැමති මාධ්‍යවේදිනියක් විසින් පසුගියදා මේ පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස් මූලස්ථානයෙන් විමසීමක්ද කර තිබුණි. නීතිපතිවරයා සීඅයිඩී නිලධාරීන්ගේ ගමන් බිමන් සහ තාක්ෂණික කරුණු ගැන මෙතරම් සොයන්නේ, එම තොරතුරු විත්ති පාර්ශවයට ලබා දී නඩුව තාක්ෂණිකව බිඳ දැමීමට (Technical knockout) අවස්ථාව සලසා දීමටදැයි බරපතල සැකයක් මතු වේ.

රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේ ‘නොවැටෙන මිනිසා’ ලෙස ප්‍රකටව සිටියේ නීතියේ හිඩැස් සහ මිතුරු සංගම්වල පිහිටෙනි. ජනවාරි 28 වනදා නඩු පැවරීම වැළැක්වීම සඳහා සන්ඩේ ටයිම්ස් මාධ්‍ය මෙහෙයුම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර බලපෑම් එකිනෙක පෑහී ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය.

නීතිපතිවරයා වැඩ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්ද, නැතහොත් කොළඹ ප්‍රභූ පැලැන්තියේ මිතුරන් බේරා ගැනීම වෙනුවෙන්ද යන්න තීරණය කිරීමට ජනවාරි 28 තීරණාත්මක දිනයක් වනු ඇත. ‘වට්නිව්ස්’ මේ දෙස අවධානයෙන්.

Author

2 Comments

  • වැදගත් හෙළිකිරීමක්.! කොහොමත් ඔය නඩුවට කෙලවන්න බලාගෙන ඇත්තේ. මීට සමගාමී දෙයක් අද තවත් YouTube මාද්‍යවේදියෙක් කිව්වා. මේහම දිගටම අංචි අදින නීතිපතියෙක් තියාගෙන ඉන්නේ ඇයී??
    ප්‍රජාත්‍රාන්තවාදී බව රකින්න ඔන වගේ අදහසකින්ද? අභියෝග වෙයී කියලාද? විශ්‍රාම යනකම්ම ඉන්නවද? ඇතුලෙන් අයීනිකරනවද අකමැතිද?
    නීතිපති සහ අධිකරණ අමාත්‍යාශයේ ඉදිරි ක්‍රියාමාර්ග වල ප්‍රගමනය මත මේ ආන්ඩුවේ පැවැත්ම තිරණය වෙනවා. ඒක මේ ආන්ඩුව දැනගෙන හිටියට.. ඒ සටනට ඇත්තටම සූදානම්ද කියලා දෙගිඩියාවක් තියනවා.

  • ඔබ රනිල් ආර්ථික පරිවර්ථන පනත, විදුලි බල මණ්ඩලය කැලි වලට කඩන කොට, මහ බැංකුව රජය්යෙන් ගලවන කොට, AKD ඉන්දියාව චිනේ, මල්දිවයින montana ගිවිසුම් අත්සන් කරන කොට මොනවද කලේ? බොරුවට තොරතුරු නොලැබෙන බව හොදින් දැනගෙන, ඊනියා තොරතුරු දැනගැනීමේ පන්තෙන් තොරතුරු ඉල්ලුව නේද? මේවා වෙන්න කලින් කෙසේ හෝ නැවැත්වූයේ නැත්තේ ඇයි? ඇයි ලංකාව Lazard, Clifford Chance, KPMG වලට ඩොලර් මිලියන ගණන් ගෙවන්නේ? ඇයි ලංකාවේ auditor general forensic audit කරන්නේ නැත්තේ?

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading