LOLC ෆිනෑන්ස් පීඑල්සී බිලියන 14.02 ක බදු පසු ලාභයක් වාර්තා කරයි ! සමස්ත මෙහෙයුම් ආදායම බිලියන 25.91 ක් !!

2025 වසරේ සැප්තැම්බර් 30 වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙම වසර සඳහා රුපියල් බිලියන 14.02 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.

2024 වසරේ එම කාලසීමාවේ දී වාර්තා කළ රුපියල් බිලියන 8.14 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී මෙම බදු පසු ලාභය 72 % ක වර්ධනයක් වන බවයි සමාගම සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන්නේ ඉහළ ශුද්ධ පොලී ආන්තික, වැඩිදියුණු වූ වත්කම්වල ගුණාත්මක බව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙම සාර්ථකත්වය සඳහා හේතු වූ බවයි‍‍.

අදාළ කාලසීමාව සඳහා වාර්තා කර ඇති දළ ආදායම රුපියල් බිලියන 39.51 කි. මෙය පෙර වසර හා සැසඳීමේ දී 8 % ක වර්ධනයක් පෙන්නුම් කරයි.

මෙම බදු පසු ලාභයට සමගාමීව ගාස්තු සහ කොමිස් ආදායම් ද රුපියල් බිලියන 1.50 දක්වා එනම් 15 % කින් ඉහළ ගොස් ඇති අතර, මෙකී සාර්ථකත්වයත් සමඟ සමස්ත මෙහයුම් ආදායම් රුපියල් බිලියන 25.91 දක්වා පෙර වසරට සාපේක්ෂව 15 % ක ඉහළ යාමක් ද සටහන් කර තිබීම විශේෂත්වයක්‍.

කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ දී මෙහෙයුම් වියදම් පෙර වසරට සාපේක්ෂව 10 % කින් ඉහළ යමින් රුපියල් බිලියන 12.02 ක් බවට පත්වී ඇති අතර, සමාගම සඳහන් කරන්නේ ශක්තිමත් පිරිවැය විනයක් පවත්වාගෙන යමින් සිය ශාඛා ජාලය තුළ වැඩිදියුණු කළ ඵලදායීතාවයක් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවයි.

ඒ අනුව 2025 සැප්තැම්බර් 30 වන විට සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 466.26 මට්ටමට පත්ව තිබෙන බවත්, මෙය 2025 මාර්තු 31 වන දා පැවැති අගයට වඩා රුපියල් බිලියන 36.53 ක එනම් 8.5 % ක වර්ධනයක් බව හා එම මාස 6 ක කාලසීමාවේ දී සමාගමේ ශුද්ධ ණය රුපියල් බිලියන 54.42 දක්වා වර්ධනය වෙමින් එය රුපියල් බිලියන 351.93 මට්ටමට ළඟා වී ඇති බව සමාගම සඳහන් කරනවා.

මෙම අදාළ කාලසීමාවේදී පාරිභෝගික තැන්පතු ප්‍රමාණය ද රුපියල් බිලියන 238.58 දක්වා ඉහළ ගොස් ඇති අතර, ණය ගැනීම් රුපියල් බිලියන 50.16 දක්වා රුපියල් බිලියන 15.68 කින් පහත වැටී ඇති බවයි සමාගම අවසාන වශයෙන් සඳහන් කර සිටින්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading