භාෂා අනුව වෙනස්කොට සලකන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වරුණ !!!

දමිළ ප්‍රකාශකයන් සඳහා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටි වෙන් නොකිරීම හා වෙන් කරන බවට පොරොන්දු වී පසුව එය නොසලකා හැරීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් ෆේස්බුක් සටහන් තබා තිබුණා.

“මම පොඩි කාලේ ඉඳන්ම මගේ නංගිලා, යාළුවෝ සහ මම BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා. ඒක පොත් ලෝලීන්ට හැම අවුරුද්දෙම වගේ උද්යෝගිමත් සිදුවීමක්. කෙසේ වෙතත්, දෙමළ පොත් කුටි මෙතරම් අඩු ඇයි කියලා මම කල්පනා කළා. මම නිතරම හිතුවෙ ලංකාවේ දෙමළ ප්‍රකාශකයින් / පොත් අලෙවිකරුවන් එතරම් නැහැ කියලා”

“මෑතකදී මගේ මිතුරා මොහොමඩ් සබ්රි මට කතා කරලා කිව්වා, BMICH පොත් ප්‍රදර්ශනයේ පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ප්‍රකාශන සමාගමට කුටියක් ලබා ගැනීමට ඔහු උත්සාහ කරමින් සිටින බව. අවාසනාවකට මෙන්, BMICH පොත් ප්‍රදර්ශන සංවිධායක මණ්ඩලය ඔවුන්ට කුටියක් ලබා දෙන බවට සැමවිටම පොරොන්දු වුවත් අවසාන මොහොතේ ඔවුන්ට ස්ථානයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස, ආසන්න වශයෙන් කුටි 100 න් කුටි 3 ක් පමණක් දෙමළ ප්‍රකාශකයින්ට ලබා දී ඇත.”

“අපේ රටේ රාජ්‍ය විසින් සහ BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින් වන පෞද්ගලික ක්‍රියාකාරීන් විසින් දෙමළ භාෂාව තවමත් නොසලකාහරිමින් සහ කොන් කර ඇත. කියවීම සහ දැනුම ප්‍රවර්ධනය කරන බව පවසන පුද්ගලයින් විවිධ සංස්කෘතීන් සහ භාෂාවලින් යුත් ජනතාව එක්රැස් වන පොත් ප්‍රදර්ශනයක් තුළ පවා වෙනස්කොට සැලකීමේ දේශපාලනය කිරීම කොතරම් ලැජ්ජාවට කරුණක්ද?යනුවෙනුයි. ‍

ඒ අනුව ඇය පැහැදිලිව චෝදනා කර තිබුණේ, පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දමිළ ප්‍රකාශකයන් නොසලකා හරිමින් වෙනස්කොට සැලකීමකට නතු කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ නමුත් මේ පිළිබඳව අද “ශ්‍රී ලංකා දෙමළ පොත් ප්‍රකාශකයන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය” විසින් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබූ අතර, මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබුණා.

ඒ අනුව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් ව තිබුණේ, පසුගිය වසර 26 පුරා පවත්වා ගෙන යනු ලබන  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය (SLBPA) විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් දක්වා වර්ධනය වී ඇති බවත්,  දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන, පෙළපොත්වල සිට සාහිත්‍ය කෘති දක්වා දහස් ගණනක් පොත් ගැවසෙන එය අවශ්‍ය සියල්ල එකම තැනකින් ලබා ගැනීමටත්, වට්ටම් සහිතව ලබා ගැනීමටත් මනා අවස්ථාවක් බවයි.

එහෙත්, එහි දී දෙමළ භාෂා නිර්මාණකරුවන්, දෙමළ ප්‍රකාශකයන් සහ දෙමළ පාරිභෝගිකයන් වසර ගණනාවක් තිස්සේ දැඩි වෙනස්කම්වලට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් මෙවැනි පොත් ප්‍රදර්ශනවලදී දෙමළ කතා කරන සහ සිංහල කතා කරන කලාකරුවන් අතර සම්බන්ධතාවක් (බැඳීමක්) ඇතිවීමට ඇති අවස්ථාව ද ඇහිරී ඇති බවත් ය.

“ පසුගිය කාලය පුරාම මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සංස්කෘතික එකමුතුවක් සහ සංස්කෘතික හුවමාරුවක් සඳහා වූ වේදිකාවක් බවට පත් කළ යුතුව තිබුණි.

වාර්ෂිකව සිංහල භාෂාවෙන් පොත් 8000 ක් පමණ ප්‍රකාශයට පත් කෙරේ. දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පොත් 500 කට වඩා අඩු සංඛ්‍යාවකි. ශ්‍රී ලංකා දූපතේ දෙමළ පොත් සඳහා වන වෙළඳපොළ ඉතා කුඩාය. එපමණක් නොව, මෙහි ප්‍රකාශයට පත් කරන බොහෝ පොත් මුද්‍රණය කරනු ලබන්නේ පිටපත් 300 ක් පමණක් වන තත්ත්වය දිගටම පවතී. ඊට වඩා අඩු පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන පොත් ද ඇත. රජයේ පොදු පුස්තකාල පවා දේශීය දෙමළ පොත් මිලදී නොගනී. ඉතා ස්වල්පයක් පමණක් ව්‍යතිරේක ලෙස සඳහන් කළ හැකිය.

මෙවැනි බොහෝ දෙමළ ලේඛකයින් පොත්පත් තුළින් මුදල් උපයා නැත. ඒ වෙනුවට, ඔවුන් තමන්ගේම මුදලින් පොත් ප්‍රකාශයට පත් කරන තත්ත්වය දිගටම පවතී.

මෙවැනි තත්ත්වයක් තුළ, පොත් නිෂ්පාදන වියදමෙන් පරිවර්තනය සඳහා අමතරව වියදම් කිරීමට නොහැකි තත්ත්වය හේතුවෙන්, දෙමළ භාෂාවෙන් ප්‍රමාණවත් පරිවර්තන සාහිත්‍ය ප්‍රකාශයට පත් නොවේ.

මෙවැනි අර්බුද රැසක් සමඟ ඉදිරියට යන දෙමළ ප්‍රකාශන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට එකම සංවිධානයක්වත් නොමැත. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය (SLBPA) ආරම්භ කර වසර 40 කට ආසන්න වී ඇත. එහෙත් මෙතෙක් දෙමළ ප්‍රකාශකයන් සම්බන්ධ කර ගැනීමට ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැත. අද ප්‍රකාශකයින් 160 දෙනෙකු සාමාජිකයින් ලෙස සිටින මෙම සංගමයේ සිටින්නේ දෙමළ ප්‍රකාශකයින් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණි.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින පුද්ගලයන් සත් දෙනා අතරින් හෝ අමතර අධ්‍යක්ෂවරුන් එකොළොස් දෙනා අතරින් හෝ පුද්ගලයන් හය දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවේ සිටින අය අතරින් හෝ දෙමළ කතා කරන ප්‍රජාවන්ට අයත් එකම පුද්ගලයෙකුවත් නැත. මෙම සංගමයේ වෙබ් අඩවිය සහ එහි ප්‍රකාශන ද ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් පමණි.”

යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ අනුව ඔවුන් විසින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එම ඉල්ලීම් මෙසේයි.

  • දෙමළ ප්‍රකාශකයින් සාමාජිකයන් ලෙස ඇතුළත් කළ යුතුය!
  • පොත් ප්‍රදර්ශනයේදී සුදුසු කුටි ලබා ගැනීම, සුදුසු ඉඩකඩ වෙන් කිරීම, එළිදැක්වීම්, කතාබස් වැනි දේ සඳහා වේදිකා ලබා ගැනීම, දෙමළ නිවේදන, දැන්වීම් සහ පහසුකම් දක්වා සෑම අංශයකම පවතින වෙනස්කම් කිරීම ඉවත් කළ යුතුය. දැනට ප්‍රදර්ශනයේ සියයට එකක දෙමළ කුටිවත් නොමැත.
  • දෙමළ පාඨකයන්ට ද ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි, දෙමළ භාෂාවෙන් ද මඟ පෙන්වීම් සහ දැන්වීම් පුවරු තිබිය යුතුය.
  • විශාල ප්‍රකාශකයින්ට පමණක් සීමා කර ඇති අවසරය වෙනස් කළ යුතුය . ඒ වෙනුවට කුඩා වෙළඳුන් සඳහා අවස්ථා ලබා දිය යුතු අතර ඔවුන් සඳහා අඩු ගාස්තු අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. සිංහල ප්‍රකාශකයන්ට සමාන වර්ධනයක් අත්කරගත් ප්‍රකාශකයන් සහ බෙදාහරින්නන් දෙමළ පරිසරය තුළ නොමැති බව සලකා බැලිය යුතුය.
  • දෙමළ කතා කරන ජනතාවට තම අවශ්‍යතා එහිදී ලබා ගැනීමට හැකි වන පරිදි, උදව් කළ හැකි ප්‍රමාණවත් දෙමළ කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ යෙදවිය යුතුය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading