සාලිය ඉඳුරුවිතාන නම් සොඳුරු මිනිසාණෙනි ඔබට සුබ ගමන්…

කලා විචාරකයෙක්, සොඳුරු රසිකයෙක්, නිහඬ රස්තියාදුකාරයෙක් ,සුවිසල් දැනුම් සම්භාරයක් කරපින්නාගත් සබුද්ධික මිනිහෙක්, ලේඛනාගාරයක් සහ අවංක මිනිහෙක් යනාදී තවත් බොහෝ හැඳින්වීම් වලින් මිනිහෙක්ව හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ සමාජය ඇතුලේ හරි අල්ප විදිහට. එහෙම හඳුන්වන්න පුළුවන් සහ ලියුම්කරු සිතන විදිහට තම ජීවිතයම පැවැත්ම පිළිබඳව පරීක්ෂණාගාරයක් කරගෙන ඒ උදෙසා විවිධ අභ්‍යාස කරපු මිනිහෙක් ලෙස ද හැඳින්විය හැකි සාලිය ඉඳුරුවිතාන නම් කුඩා සිරුරක් හිමි විසල් මිනිසා අප අතරින් සමුගෙන ඇත.

ආගම් අහෝසි වන යුගයක ජීවිතයේ යථාව තේරුම් කරන ආගමක් සේ සාලිය අප ඉදිරියේ අභිමුඛ වීම අප තේරුම් ගන්නේ නම් අපි එයින් පලා යාම නැවැත්විය යුතු මොහොත අදයි.

කොළඹ සහ තවත් බොහෝ තැන් වල සංස්කෘතික අවකාශ වල සිනමාශාලා, සංවාද මණ්ඩප, පොත් එළිදක්වීම්, සිනමා කව, චිත්‍ර ප්‍රදර්ශන සහ දෘෂ්‍ය කලා අවකාශ අවකාශ, දේශපාලනික සකච්ඡා සංවාද, දර්ශනය අධ්‍යයනය කවය ඔහු කිසිදා මග නොහැර ගිය තැන්ය. ඔහුගෙන් කිසිදු හිරිහැරයක් සිත් තැවුලක් කිසිවෙකුට වුයේ යැයි අසා නැත. පොත් ගැන කතා ද එමටය. හැම තැනකම නිසැකවම සිටිය සාලිය අවකාශ වල ඔහුගේ සහභාගීත්වය සාමාන්‍යකරණය වී තිබිණි.

කෙසේ වෙතත් ඔහු සියල්ල හැරගොස් ඇති නමුත් අප නැවත නැවත අප මියෙන තුරාත් ගොඩවෙන්නට බලාපොරොත්තු ඇති එම අවකාශ, සාලිය නම් සොඳුරු මිතුරාව අපට නැවත නැවත නිතර මුණ ගස්වනු ඇත.

සාලියගේ නික්මයාය බොහෝ දෙනෙකුට තිගැස්මක් ඇති කරන අතරම අමුතු හිස් බවකින් සහ විශ්වීය හැඟීමකින් මරණය සහ අපගේ පැවැත්ම පිළිබඳව නැවත කුකුසක් ඇති කරවා ඇති සිතේ. ඔහුගේ සෑම විෂයේම වූ සගයන් හට ඔහුව දැනුණු කලාපයන් සටහන් තබන්නට අමතක කර නැත. එවැනි කිහිපයක් මෙසේ සඳහන් කර සිටිමු.

පතාක යෝධයෝ වගේ දැනුන පුංචි මිනිස්සු සමු ගැනීමට ඉඩක් නොතියාම යන්න යනවා. ඒ නික්මයාම නිසා කලා රසික විචාරක සමාජය තුළ ඇති කරපු හිස්තැන පුරවන්න ආයෙත් ඒ වගේ කෙනෙක් කවදාවත් එන්නේ නෑ. – අශෝක හඳගම

ඔහු හිටියේත් කැමරා ඉදිරිපිට හෝ පෝඩියම් මත නෙවෙයි. ඉඳහිට මිසක ඔහුව මයික්‍රෆෝනයක් අතැතිව අපි දැක්කේ නෑ. ඒ විදියට ඉතා අනායාසයෙන් අපි අතර ඉන්න කෙනෙක්ව අපි විශේෂයෙන් සමරන්න හුරුවෙලා නෑ. වචනයක් ලියන්නට, ඇගයීමක් කරන්නට අපි එහෙම වෙලාවලදී හුරුවෙන්නෙ නෑ. සමහරු කොච්චර විශේෂද කියල වැටහෙන්නේ ගියාම. මා දැනුයි තේරුම් ගන්නේ ඔහු නැති පාළුව මොන තරම්ද කියලා.

ඔහුගේ අහිමිවීමෙන් ඇති වූ කම්පනය වී වචනයක් හෝ ලියන්න ඕනෑ කියා සිතන කී දෙනෙක්ද? තමාගේ හදිසි සමුගැනීම නිසා අපට ඇති වූ කම්පනය මෙන්ම- සියල්ලන් ඔහු හා කතාකරන බව දකින්නට සාලිය ඉඳුරුවිතානට බැහැ. ඔහු එය දුටුවත් ඔහුටම ආවේණික හිනාවෙන් එයට ප්‍රතිචාර දක්වාවි.

මම දුවන්නෙක්. හැල්මේ දුවන්නෙක්. නොනැවතී විවිධ කණ්ඩායම් එක්ක දුවන්නෙක්. ඒත්, බොහෝවිට දැනෙන්නේ මහ පාළුවක්. තනිකමක්. හිස්කමක්. මොකද අපේ තේමාව ක්‍රම විරෝධය වූවත්- අප තරම් ක්‍රමයට අනුගත වූ අය නැතිව ඇති. ජීවන විලාසය, සංස්කෘතිය, ආදායම් මාර්ග හේතුවෙන් අප දැඩිව මැසිමට ගැටගැසී ඉන්නවා. තව කීප දෙනක්ම ලියා තිබුණ දෙයක් මටත් හිතෙනවා. සාලිය අපව විස්මයට පත් කරමින් මැසිමේ දැති රෝදයක් නොවී සිටියා. ඔහු මොන තරම් තෘප්තිමත් ජීවිතයක් ගත කළාදැයි මම දන්නේ නෑ. ඒත්, එළියෙන් බැලූ කළ අපට අපේම ජීවිත ගැන ඇති අතෘප්තිය සාලිය දැක්කාම තීව්‍ර වෙනවා වෙන්න ඇති.තරිඳු උඩුවරගෙදර

බුද්ධ වගේ මිනිහෙක්ට ඇරුනහම, තමන්ගේ ජීවිතේ පරීක්ෂණාගාරයක් කර ගන්න හරි අමාරුයි මනුස්සයෙක්ට.. ඉතිං‍, සාලිය එම පරීක්ෂණාගාරය හැර ගිහින්.. සුබ රාත්‍රියක් ලොකු අයියේ..!- රම්

සාලිය චිත්‍ර කලාව, නාට්‍ය, සාහිත්‍යය, සිනමාව, ආර්කිටෙක්චර්, දේශපාලනය මේ හැම දෙයක් ගැනම ඇහැ ගහගෙන විචාරක්ෂිය යොමු කරපු ගවේෂකයෙක්. සිදුවීම් සිදු උන පිලිවෙල, සංසිද්ධි, පුද්ගලයෝ ගැන සාලියට තිබුණ මතකය, උනන්දුව සුලුපටු නැහැ. කලා කෘතියක් උඩින් පල්ලෙන් අතගානවාට වඩා සාලිය කලා කෘතියක් බාර ගන්න විදිය නිසා එහෙම රසිකයෙක්, විචාරකයෙක් ඉතිං අවිඤානිකව මගේ ප්‍රේක්ෂකාගාරයේ ගත්ත ඉඩ ගැන මට දැනෙන්නෙ සාලිය මිය ගියාම. මචං සාලිය උදේ පාන්දර උබ ඇති කරේ මහ මූසල හැගීමක්. පට්ට අඩුවක්. උබ ආයේ මගේ ස්ටූඩියොවට මගේ චිත්‍ර බලන්න එන්නෙ නැහැ. – සුජිත් රත්නායක

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading