නිශාන්ත උළුගේතැන්න ස්කයිප් තාක්ෂණයෙන් නඩුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළඹෙන ඔක්තෝබර් 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (24) නියෝග කළා.

අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත, හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

අද මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින සැකකරුවන් සහ බන්ධනාගාරගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

එමෙන්ම, උඩුදුම්බර බන්ධනාගාරයේ සිටින 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සහ හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි සරත් මොහොට්ටි මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විත්ති පාර්ශවයේ නීතිඥයන් සහ වින්දිතයාගේ නීතිඥවරිය කරුණු දැක්වූ අතර, ඒවා සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නා.

Author

Related Posts