ICC යෙන් ඇමරිකාවට තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබුණා.

USACහි අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැහැ.

ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, “නිදහස් හා සාධාරණ මැතිවරණ” පැවැත්වීමට සහ “පුළුල්” පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණා.

ඉන් මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර තිබෙනවා. 

ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය USAC වෙත අනතුරු ඇඟවුවා.

Author

Related Posts