සිරකරු හුවමාරුවට අලුත් ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර දඬුවම් නියම වූ පුද්ගලයන් භාර දීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.  

සිරකරුවන්ට ඔවුන්ගේ මව්බිම තුළ ඉතිරි සිර දඬුවම ගෙවීමට අවස්ථාව ලබා දීමේ අරමුණෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය හිමි වුණා.

ඒ අනුව යෝජිත ගිවිසුම මඟින් සිරකරුවන්ට සමාජීය පුනරුත්ථාපනය සහ සිය සමාජය සමඟ නැවත ඒකාබද්ධ වීම සඳහා සිය මව්රට වෙත පැමිණීමට අවකාශ ලැබෙනු ඇති.

මෙම ගිවිසුම මඟින්, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගතව සිටින පිලිපීන පුරවැසියන්ට ඔවුන්ගේ රටට ගොස් ඉතිරි සිර දඬුවම ගෙවීමට අවස්ථාව හිමි වනවා.

 ඒ හා සමානව, පිලිපීනයේ සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකිකයන්ට ද ඔවුන්ගේ ඉතිරි සිර දඬුවම් කාලය ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයකදී ගෙවීමට අවස්ථාව ලැබෙනු ඇති.

ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වෙනත් රටක පුරවැසියෙකු වරදකරු කොට බන්ධනාගාරගත කිරීම සඳහා දඬුවම් නියම කරනු ලැබූ විට එම පුද්ගලයාගේ දඬුවම ඔහු පුරවැසියෙකු යැයි හිමිකම් පාන රට තුළ ගෙවා දැමීමට හැකි වන පරිදි වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව තිබෙනවා.

ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Author

Related Posts