කහටගහ ග්‍රැෆයිට් කොටස් විකුණයි

කහටගහ පතලේ මිනිරන්වල අයිති සම්පුර්ණයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ කොටස් පුද්ගලික අංශයට විකිණිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසු ගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ යටතේ හඳුනාගනු ලබන ආයෝජකයෙකු මඟින් කහටගහ පතලේ මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවට 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන තිබුණේ නැහැ.

එම පතලේ පවතින මිනිරන් සංචිතය පිළිබඳව නිශ්චය කිරීම සඳහා දේශීය වශයෙන් පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගෙන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එළඹ ඇති 2023- 12 – 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර, කහටගහ පතලේ මිනිරන්වල අයිතිය ඵම සමාගම සතුවම පවත්වා ගනිමින් හා දැනට එම පතලේ සේවය කරනු ලබන සේවකයිගේ රැකියා සුරක්ෂිත කරමින් කහටගහ පතලේ මිනිරන් සංචිතය ගවේශනය කිරීම, එම පතලේ මිනිරන් කැනීම්, සැකසුම් හා මිනිරන් සඳහා අගය එකතු කිරීම යන සමස්ත ව්‍යාපෘතියම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වනවා.

එය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක්.

 කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසම තත්ත්වත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබනවා.

Author

Related Posts