මහජන කැළඹිමක් ඇතිවේවි! කෙහෙළියට ඇප දීමට විරුද්ධ වූ රජයේ නීතිඥවරිය කී කතාව!

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළා.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියම කළා.

විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදුන්නා.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කර තිබුණා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.

නඩුව අද කැඳ වූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගකව සිටින නඩුවේ පලමු විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

නඩුවේ 9 වන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු වෛද්‍යවරයකු වන ජයනාත් බුත්පිටිය යන අය අද විවෘත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ, විත්තිකරු විදේශගතව සිටින බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම ඇප ලබා දීමට එරෙහිව කරුණු දැක්වුවා.


“ අද දින විත්තිකරුවන් හට අධි චෝදනා පත්‍ර සමඟ සියලු ඇමණුම් භාර දීමට පැමිණිල්ල සූදානම්. ඒ වගේම නඩු විභාගය අතරතුරදී යම් යම් ලේඛන නොලැබුණු බවට විත්ති පාර්ශවයෙන් පැන නැඟිය හැකි කරුණු මඟ හරවා ගැනීමට අදාල ඇමුණුම් සියල්ල ලේඛනයක ලකුණු කර ලබා දීමට කටයුතු කරනවා. ස්වාමීනී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (6) ව්‍යතිරේකය යටතේ විත්තිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිවරයා මේ අවස්ථාවේදී විරුද්ධවනවා. නඩුවේ ස්වභාවය සහ නඩුව සම්බන්ධව පවතින මහජන කැළඹීම යන හේතූන් මත පදනම්ව මේ අවස්ථාවේ විත්තිකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ වනවා ස්වාමීනී. විත්තිකරුවන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප නියම වී සිටියද ඇප පනත ප්‍රකාරව මේ අවස්ථාවේ විත්තිකරුවන් හට ඇප ලබා දීමට සුවිශේෂි කරුණු ඇතිද යන්න යළි සලකා බැලිය යුතුයි. විත්තිකරුවන් හට ඇප ලබා දීමට පොදු දේපල පනතේ 8 (1) හා ඇප පනතේ 14 (1) වගන්ති යටතේ අසාමාන්‍ය කරුණු මතුව තිබේද යන්න යළි සලකා බලන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ස්වාමිණි.”

ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන අනූජ ප්‍රේමරත්න, නලින් ලද්දුහෙට්ටි, ප්‍රියන්ත නාවාන, සරත් ජයමාන්න යන නීතිඥවරුන් තම තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටියා. මෙම අවස්ථාවේ විත්තිකරුවන් බන්ධනාගාර කිරීමට හේතුවක් නැති බව එහිදී කරුණු දැක්වීම් සිදු කළා. එහිදී විශේෂයෙන් සදහන් කළේ මහේස්ත්‍රාත් අධිකරනයේදී ඇප ලබා දුන් අවස්ථාවේ සුවිශේෂී කරුණු සලකා බලා ඇප දුන් බවත්, දැන් නැවත සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමේ අවශ්‍ය නැති බවත්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (6) ව්‍යතිරේකය යටතේ ඇප යළි සලකා බැලීමට ඇති අභිමතය අනුව ක්‍රියා කළ යුත්තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැහැදිලි හේතුවක් තිබියදී බවද නීතිඥවරුන් ප්‍රකාශ කළා.

එහිදී යළි ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය, නීතිපතිවරයා රටේ මහජනතාවත්, වින්දිත පාර්ශවයත් නියෝජනය කරන බව පෙන්වා දුන්නා. විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබා ගැනීමට හේතු වූ කරුණු මේ මොහොතේ වලංගු නොවන බවත්, සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම වෙනුවෙන් විත්තිකරුවන් බන්ධනාගාරගත කළ යුතු බවත් ඇය නැවත අවධාරණය කර සිටියා.

එහිදී මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විත්තිකරුවන් බන්ධනාගාර ගත කර නඩුව විමසීම ප්‍රායෝගිකද යනුවෙන් විමසා තිබුණා. විත්තිකරුවන් බන්ධනාගාරයේ සිටියදී තමන්ට එරෙහිව ඇති කරුණු සහිත ලේඛන පරිශීලනය කොට නීතිඥවරුන් සමග සාකච්ඡා කිරීමට ප්‍රායෝගික හැකියාවක් තිබේදැයි ඔහු විමසා සිටියා.

මෙතරම් ලේඛන සහිත එකම නඩුව මෙම නඩුව පමනක් නොවන බවත්, නඩුවට අදාල ලේඛන විශාල ප්‍රමාණයක් තිබීම ඇප ලබා දීමට සුවිශේෂි තත්වයක් නොවන බවත් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පැවසුවා. එම කරුණු සලකා බැලීමට විනාඩි 10ක කාලයක් ගත් විනිසුරුවරුන් විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළා.

ඒ අනුව පළමු විත්තිකරු හා ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු යන අය අවුරුද්දකුත් මාස අටක කාලයකට පසු ඇප ලබා ගත්තා.

නඩුව ඔක්තෝබර් 31 වැනිදා දක්වා කල් ගියා.

මෙම විත්තිකරුවන් ලෙස  ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නම් කර තිබෙනවා.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප්  නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව  නීතිපතිවරයා විසින් අධි චෝදනා 13 ක් එල්ල කර තිබෙනවා.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 294ක් හා නඩු භාණ්ඩ 349 ඉදිරිපත් කිරීමට නියමිතයි.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපත් රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල සිල්වා මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් කැඳවීමට නියමිතයි.

Author

Related Posts