පොලිසියේ රඳවාගෙන දරුවෙකුට වදහිංසා කරලා!වන්දි ගෙවන්න නියෝග

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි දරුවෙකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන ක්‍රෑර වධ හිංසාවට ලක්කළ හතරලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට, එම දරුවාට හා ඔහුගේ භාරකරු වන මවට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (01) නියෝග කළා.

එලෙස අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් එම දරුවාගේ හා භාරකාර මවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හතරලියද්ද පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් නමැත්තාට ඔහුගේ පෞද්ගලික මුදලින් වධහිංසාවට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ තුනක වන්දියකුත් දෙවැනි පෙත්සම්කාර මවට රුපියල් 75,000ක වන්දියකුත් ගෙවන ලෙසට නියෝග කර සිටියා.

බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත් විටෙක පැය හයක් ඇතුළත ඔහුව හෝ ඇයව මව්පියන්ට පෙන්විය යුතු බවටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන යෑමට පෙර මව්පියන්ට පෙන්විය යුතු බවත් සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව මගින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියෝග කළා.

2022.08.06 වන දා හතරලියද්ද පොලිසියට සිය අසල්වැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එවකට වයස අවුරුදු 16යි මාස 8ක් වයසැති සිය පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිසියේ දින දෙකක් රඳවා ගෙන අමානුෂික ලෙස වධ හිංසා කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පෙන්වා දෙමින් හම්මි සිත්ති නිශාරා නමැත්තිය එම පෙත්සම ගොනුකර තිබෙනවා.

එකී ක්‍රෑර වධහිංසා නිසා දැඩි ලෙස රෝගී වී තිබූ තම පුත්‍රයා 2022.08.09 වන දා මහ නුවර මහ රෝහලට ඇතුළත් කර තිබියදී ඇප මත මුදාහැර ඇති බවත් පසුව ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවත් පෙත්සම්කාරිය එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ලියා සකස් කළ එම තීන්දුව සාමාජික විනිසුරු මේනකා විජේසුන්දරගේ හා විනිසුරු සම්පත් පී. අබේකෝන්ගේ එකඟතාව ඇතිව ප්‍රකාශයට පත් කළා.

නීතිඥ හරිනි ජයවර්ධන සමග නීතිඥ පුලස්ති හේවාමාන්න පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියා.

පළමුවන වගඋත්තරකාර වැඩ බලන පොලිස්පති පොලිස් පරීක්ෂක වීරකෝන් නමැත්තා පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පස්දෙනෙකු පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබුණා.

Author

Related Posts