අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න, ඔහුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙනවා.
ඒ අනුව ඔහුව රඳවා තබාගෙන අද දිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු මඟහරිමින් සිටියේ මහේස්ත්‍රත් උසාවියයි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව විභාග වන්නේ ධීවර වරාය සංස්ථාව සතුව සම්පත් තිබියදී කොරියානු සමාගමකට වරායන්හි වැලි ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාර දී රජයට පාඩු සිදු කිරීමට අදාලවයි.
මීට පෙර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කළ නඩුවක් වන මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට කුලියට ලබා දීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත රාජිත සේනාරත්න මහතාට එරෙහි නඩුව වෙනුවෙන් ඔහු අද කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා. එම අවස්ථාවේදී මෙම බන්ධනාගාරගත කිරීම සිදුකළා.
එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දී තිබුණේ රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවයි. ඒ හේතුවෙන් මහාධිකරණයෙන් මීට පෙර ලබා දී ඇති ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් ලංකා ජයරත්න මහත්මිය සඳහන් කළේ මහාධිකරණයේ විභාග වෙන මෝදර වරායේ නඩුවට රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම පැමිණ ඇති නිසා ඇප අවලංගු කිරීමට අවශ්‍ය නොවන බව ඇය සඳහන් කළා. කෙසේ වෙතත් වෙනත් අධිකරණයකින් වරෙන්තු ලබා ඇති පුද්ගලයෙකු තම අධිකරණයකට ඉදිරිපත් වූ පසු, එම සැකකරුව අදාල අධිකරණයට යොමු කිරීම සිය වගකීම බව පෙන්වාදෙමින් ඇය බන්ධනාගාරයට නියෝග කළේ ඔහුව අත්අඩංගුවට ගෙන අද දිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අගෝස්තු 28 වැනිදා මහාධිකරණය ඉදිරියේ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයන් සඳහන් කර තිබුණේ අගෝස්තු 29 වැනිදා ඔහු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි.
ඔහුව අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය කාලය පුරාවට උත්සාහ කළ නමුත් ඔහු කොමිසම මඟහරිමින් සැඟව සිටියා.
