වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කළේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
ඒ ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා සිදුවිම සම්බන්ධයෙන් නඩුව අගෝස්තු 22 වනදා කැඳවු අවස්ථාවේදීයි.
පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ,කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ යන අය කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා සිටියාය.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදි තිබුණේ නැහැ.
මෙම සිදුවිම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා මෙම වසරේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.
මේ වනවිට විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බව අධිකරණය හමුවේ පැවසු වංචා විමර්ශන කාර්යංශයේ නිළධාරීන් 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බව පවසා තිබුණා.
අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් ගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියා.
තවද නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසා සිටියේ මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවයි.
තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බව මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසුවා.
මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිතයි.
