කුමනන් ගැන පොලිස්පතිට ලියුමක්

ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ට ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන “අඛණ්ඩ හිංසනය සහ බිය ගැන්වීම” පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරමින් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ)  ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත අද (22)   ලිපියක් ‍යොමු කර තිබෙනවා.  

කුමනන් සහ අනෙකුත් මාධ්‍යවේදීන්ගේ කටයුතුවලට අදාළව සිදුවන හිංසන, බිය ගැන්වීම්, ඔත්තු බැලීම් සහ බාධා කිරීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔවුන් විසින් යොමු කළ ලිපියේ සඳහන්.

අගෝස්තු 17 වන දින මුලතිව් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උප කොට්ඨාසය වෙත කුමනන් කැඳවා ඇති බවත් එහිදී ඔහුගේ සිරුර දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, පැය හතකට ආසන්න කාලයක් ඔහුගේ කටයුතු පිළිබඳව ප්‍රශ්න කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර සිටිනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය ට අනුව, හමුදා, නාවික සහ ගුවන් හමුදාවල බුද්ධි අංශ විසින් අධිකරණ නියෝගයකින් තොරව ඔහුගේ බැංකු විස්තර, ඇමතුම් වාර්තා, සහ සංචාර ඉතිහාසය ලබාගෙන ඇති අතර, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පුළුල් ලෙස නිරීක්ෂණය කර පිටපත් කරගෙන තිබෙන බවට මෙම සංවිධානය ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා ඉන්දියාවේ කළ වෘත්තීය සංචාරයක් ගැන කුමනන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගන්නා ලෙස ද ඔහුට පවසා තිබුණා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත තම බිය පළ කිරීමෙන් පසු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බවට තර්ජනය කර ඇති බව ද IFJ ලිපියේ සඳහන් වෙනවා.

එමෙන්ම ඔහුට සහාය දැක්වූ ජාත්‍යන්තර සංවිධාන නම් කරන ලෙස ද ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් චක්‍රලේඛ අනුව අවශ්‍ය වන පරිදි, කැඳවීමට හේතුව පිළිබඳව ලිඛිත හේතුවක් ලබා දීමට CTID අපොහොසත් වූ බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය අවධාරණය කළා.  

 මානව හිමිකම් කොමිසම විසින් කරන ලද විමසීමකින් පසුව පමණක්, කුමනන්ගේ වාර්තාකරණය “දෙමළ ප්‍රජාව සහ හමුදාව අතර ‘ගැටුම්’ ඇති කළ බවට” චෝදනා කරමින් 2023 මාර්තු 13 වන දින හමුදා බුද්ධි අංශ විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම කැඳවීම සිදු වූ බව පොලිසිය හෙළි කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ,  මෙම නොපැහැදිලි, දෙවසරක් පැරණි චෝදනාව, වැඩ කරන මාධ්‍යවේදියෙකුට එරෙහිව ත්‍රස්ත විමර්ශන පොලිසිය යෙදවීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

 ලොව විශාලතම මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ), රටවල් 142ක සාමාජිකයින් 600,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අතර එම සංවිධානය ශ්‍රී ලංකාවේ එහි ජාතික අනුබද්ධ සංවිධාන තුන වෙනුවෙන් පෙනී සිටිනවා.

 එනම් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) යි.

මහජන උනන්දුවට අදාළ කරුණු පිළිබඳ වාර්තාකරණයට බාධා කිරීමට දරන මෙම උත්සාහය මෙම අනුබද්ධ සංවිධාන සාමූහිකව හෙළා දැක තිබෙනවා.

 යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ කුමනන්ගේ වාර්තාකරණය අතිශය වැදගත් මහජන උනන්දුවක් ඉටු කර බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.

මාධ්‍යවේදීන්ට අදාළ කාරණාවලට CTID මැදිහත් නොවන බව සහ ඕනෑම විමර්ශනයක් පූර්ණ නියමිත ක්‍රියාදාමයන් සහිතව සාමාන්‍ය සිවිල් ක්‍රියා පටිපාටීන් හරහා සිදු වන බවට සහතික වන ලෙස ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය පොලිස්පතිගෙන් ඉල්ලා තිබෙනවා.

Author

Related Posts