සුදු වෙන්න ක්‍රීම් ගෑවද? ගානවද? මේක මාරකයක් දෙය්යෝ…

ජාතික විෂ නිවාරණ සතිය අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ. මේවා එම වැඩසටහනේ ප්‍රධාන තේමාවක් ලෙස සම සුදු වීම සඳහා භාවිතා කරන ක්‍රීම් වල පවතින අවදානම පිළිබඳව සාකච්ඡාවට බඳුන් වේ.
මෙම ජාතික විෂ නිවාරණ සතියේ ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අද (15) පැවැති අතර ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය මෙම ක්‍රීම් වර්ග භාවිතයේ ඇති අවධානම පිළිබඳව පැහැදිලි කරන ලදී.

ජාතික විෂ නිවාරණ සතිය යනු 2008 සිට සෞඛ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් අනුව යම් යම් ‘විෂ’ පිළිබඳව වසරක් පාසා ජනතාව දැනුවත් කරන ප්‍රචාරක වැඩසටහනක් වේ. තරුණ තරුණියන් සම සුදු කිරීමට ගොස් විවිධ ලෙඩ රෝග වලට සහ අවදානම් වලට ගොදුරු වීමේ තත්ත්වය වර්තමානයේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම නිසා මේ වසරේදී මේ පිළිබඳව තේමා කොට ගෙන වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳව වැඩි දුරටත් වෛද්‍යවරිය මෙසේ ප්‍රකාශ කළා.

“අපේ සම තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රීය. එය සමට සහ එහි අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනවා. එතකොට මෙම ආරක්ෂකයට වැදගත් වන්නේ ඒකේ තියෙන මෙලනින් වර්ණිකය. එම මෙලනින් වර්ණිකය මත තමයි අපේ පැහැය තීරණය වෙන්නේ. අපි ඝර්ම කලාපීය රටක්. අපේ මෙලනින් වර්ණයක සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වෙන්නේ පාරජම්බුල කිරණ වලින් වෙන හානිය වැළැක්වෙන්නේ මේ මෙලනින් වර්ණකය නිසයි. ඒ වගේම සම වයසට යාම වැළැක්වෙන්නෙත් මේ මෙලනින් වර්ණකය නිසයි. නමුත් සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් තියෙන සංඝටක වන්නේ මර්කරි, ස්ටීරොයිඩ්, හයිඩ්‍රෝක්ලීනොන් සහ බැර ලෝහ. අද ලංකාවේ වෙළෙඳපොළේ දක්නට ලැබෙන සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මකරි සහ ස්ටීරොයිඩ්. මකරි ගත්තොත් ඒක බැර ලෝහ ඒකෙන් වෙන්නේ මෙලනින් වර්ණකය අවහිර කිරීමක්.

මෙලනින් වර්ණකය අවහිර කිරීම නිසා ඇතිවන ගැටලු රාශියක් තියෙනවා. එකක් මෙලනින් වර්ණකය අවහිර වීම සහ ඒ ගාන ක්‍රීම් එකේ තියන රසදිය අපේ ශරීරයට අවශෝෂණය වීම. මේ රසදිය දිගුකාලීන අවශෝෂණය වීම නිසා ඒක දිගු කාලීනව තැන්පත් වීම නිසා අපේ ස්නායු පද්ධතියට සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අක්‍රීයවීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියෙන් වෙන්න පුළුවන් මාංශ පේශි දුර්වල වීම සහ ඒ හරහා ගර්භණී මවක් මකරි තියෙන ක්‍රීම් එකක් භාවිතා කළොත් ඒක එයාගේ රුධිරය හරහා දරුවාට සම්ප්‍රේෂණය වී දරුවා මන්දබුද්ධික තත්ත්වයට පත්වෙන්න පුළුවන්. මේකෙදි දරුවාට මව්කිරි දීමේදි යන රුධිරය හරහා වුණත් මේක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එසේම ස්නායු වලට බලපෑම හේතුවෙන් ඩිමෙන්ෂියා තත්ත්වයන්ට පත්වීමේ හැකියාවක්ද ඇත.

මර්කරි තියන සුදු ක්‍රීම් වල භයානකකම ජපානයෙන් තේරුම්ගත හැකිය. මර්කරි මිනවාටා නම් සම්මුතියක් (Minamata Convention on Mercury) ඔවුන් හදා ගත් අතර ඊට හේතු වූයේ මිනවාටා නගරයේ කම්හල් වලින් බැහැර කරන රසදිය ජලාශ වලට ගොස් ජලාශවල මත්සයන් ආහාර ගැනීම හරහා මිනිස් සිරුරට ඇතුළු වීමෙන් එම නගරයේ මිනිසුන් රෝගාතුර වී මරණයට පත් විය. ඉන් අනතුරුව මිනවාටා සම්මුතිය ඇති වූ අතර වර්තමානය වන විට සමේ ක්‍රීම් වලට රසදිය මිශ්‍ර කිරීම සම්පුර්ණයෙන්ම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

ඒ වගේම තමයි ස්ටීරොයිඩ. මේකත් භාවිත වෙන්නේ අධික සාන්ද්‍රණය සහිතව මේවා ශරීරයට ආලේපනය කිරීමෙන් ප්‍රමාණයක් නොමැතිව අවශෝෂණය වෙනවා. එහෙම වුණාම අපේ සම තුනී වෙනවා, සම ඇදීම සහ මේක දිගු කාලීනව අවශෝෂණය වීමෙන් දියවැඩියාවද ඇති වීමේ අවදානමක් තියෙනවා.

ලංකාවේ ක්‍රීම් වල මිලියනයකට එක කොටසක් රසදිය අඩංගු කළ හැකි අතර පාරිභෝගික අධිකාරිය සිදු කරන ලද සමීක්ෂණ වලට අනුව ලංකාවේ ක්‍රීම් වල මිලියනකට එක කොටසක් වෙනුවට 66000ක් තිබෙන ක්‍රීම් වර්ග හඳුනාගෙන ඇත.

Author

Related Posts