තරිඳු උඩුවරගෙදර
මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග වට්නිව්ස් වෙත තහවුරු කළේය.
ඒ ඔහුට අදාලව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙනි. එම විමර්ශන අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විමර්ශනයක් බවද එම ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ඔහු අධිකරණ සේවයට සුදුසුද යන්න එම විමර්ශනයේදී විභාග කිරීමට නියමිතය.
මෙම පුවත නිල වශයෙන් තහවුරු කරගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව ඇමතීමට අප උත්සාහ ගත්තද එම උත්සාහය ව්‍යවර්ථ වූ අතර අප සතු විශ්වසනීය ආරංචිමාර්ග පුවත සත්‍යයක් බව තහවුරු කළේය.
පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනාපත්‍රයක් ගොනු කර තිබුණි. එම චෝදනපත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙස ඔහුට දැනුම් දී තිබුණි.
තිලිණ ගමගේ මහතාට එරෙහිව අලි පැටවෙකු නීතිවිරෝධීව ළඟ තබාගැනීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබුණු අතර, 2015 මැයි මාසයේදී එම අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට බාරදෙන ලදී.
ඒ මත පදනම් වී අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 මැයි මාසයේදී එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කරන ලදී. ඒ අතර 2016 මැයි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙසද ගමගේ මහතට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා නියෝග කර තිබුණි.
තිලිණ ගමගේ මහතා චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නම් පුද්ගලයෙකුගෙන් සකුරා නම් වූ අලි පැටවෙකු ලබාගෙන තිබුණි. මෙම අලි පැටවා රුපියල් මිලියන 6.9 පමණ වටිනා අලි පැටවෙකු ලෙස හඳුනාගෙන තිබුණු අතර නීතිවිරෝධීව ලබාගත් බවට චෝදනා එල්ල විය. මහේස්ත්‍රාත්වරයෙකු ලෙස එවැනි අලි පැටවෙකු ළඟ තබා ගැනීමට තරම් වත්කම් පවතින්නේද යන්න සාකච්ඡාවට ලක් වූ කරුණක් විය.
එයින් පසු තිලිණ ගමගේ මහතා විමර්ශන මඟහරින බවට චෝදනා එල්ල වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හමුවේ තිලිණ ගමගේ මහතා පෙනී සිටියේ නැත. 2016 ජුනි 02 වැනිදා තිලිණ ගමගේ මහතා අධිකරණයට බාර වීමෙන් පසු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇප ලබාගන්නා ලදී. එයින් පසු තිලිණ ගමගේ මහතාට එරෙහි මහේස්ත්‍රාත් විමර්ශනය ප්‍රමාද වී තිබුණි. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් නොවූ අවස්ථාද පැවතුණි.
2019 නොවැම්බර් 07 වැනිදා තිලිණ ගමගේ මහතා සහ චන්ද්‍රරත්න බණ්ඩාර යටවර ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග ඉදිරියේ චෝදනා ගොනු කරන ලදී. වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත සහ පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබුණි. ගිහාන් කුලතුංග විනිසුරුවරයා උසස්වීමක් ලැබීමෙන් පසුව මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ විභාගයට ගැනුණි. 2021 දෙසැම්බර් 16 වැනිදා තිලිණ ගමගේ මහතාව චෝදනාවලින් නිදහස් කරන ලදී. එයට හේතුව වී තිබුණේ තිලිණ ගමගේ මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමේදී ප්‍රමාණවත් තරම් සාක්ෂ්‍ය ඉදිරිපත් කර නොතිබීමය.
අපරාධ චෝදනාවලින් ඔහු නිදහස් කරනු ලැබුවද, අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරියේ ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුදැයි සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල වාර්තා නොවූ අතර පසුකාලීනව ඔහු විනිසුරුවරයෙකු ලෙස නැවත සේවයට එක් විය. ඔහු 2022 දී කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නැවත සේවයේ පිහිටුවන ලදී.
2024 අප්‍රේල් 23 වැනිදා තිලිණ ගමගේ මහතාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබුණි. කෙසේ වෙතත්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2025 ජනවාරි 01 වැනිදා සිට ඔහුට මොරටුව මහේස්ත්‍රාත්වරයා සහ දිසා විනිසුරුවරයා ලෙස මාරුවීමක් ලබා දෙන ලදී. මෙය වත්මන් අගවිනිසුරු සුරසේන මහතා අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයෙකු ලෙසත්, හිටපු අගවිනිසුරුවරිය වන මුර්දු ප්‍රනාන්දු මහත්මිය අගවිනිසුරුවරිය ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙසත් කටයුතු කරමින් ගෙන තිබුණු මුල්ම තීන්දුවක් ලෙස කතාබහට ලක් විය. එයට පාදක වූ තවත් සිදුවීමක් ලෙස සාකච්ඡාවට ලක් වී තිබුණේ තිලිණ ගමගේ මහතාගේ සහෝදරයා වන සලෝචන ගමගේ අල්ලස් චෝදනාවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට සිදු වීමය.
