ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ, එවක බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ලොහාන් රත්වත්තේ, බීමත් ව අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ත්‍රස්ත පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටී දෙමළ දේශපාලන සිරකරුවන් දස දෙනකුට තර්ජනය කර දණ ගස්සවා ඉන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් මස 18 දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඊයේ (29) නියෝග කළා .
මෙම නඩුව ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණය හමුවේ පෙනී නො සිටි අතර, සිය සේවාදායකයා රෝගී වී ඇති බැවින් අධිකරණයේ පෙනී නො සිටි බවයි ඔහුගේ නීතිඥවරු අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවේ.
ඒ හේතුවෙන් මෙම නඩුව සඳහා වෙනත් දිනයක් දැනුම් දෙන ලෙසට විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් කළ ඉල්ලීම් හා ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සිද්ධියට අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 18 වන දා දක්වා කල් තබා, නඩුවේ පළමු සහ හත් වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරනු ලැබුවා.
2021 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනක සැකකරු රාත්‍රී කාලයේ දී අනුරාධපුර බන්ධනාගාරයට ගොස්, ත්‍රස්ත පනත යටතේ රඳවා සිටි දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් දස දෙනකුට තර්ජනය කර, දණ ගස්සවා, පුබාලසිංහම් සුරියබාලන් යන අයගේ හිසට පිස්තෝලයක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බියවැද්දීමකින් තර්ජනය කරමින් වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි මඟින් අනාවරණ වන බව නීතිපතිවරයා විසින් අධිකරණය වෙත දැනුම් දී තිබුණා.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කොළඔ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ඒ. එච්.එල්. සුමනසිරි සමඟ රජයේ අධිනීතිඥ සමදරී පියසේන පෙනී සිටි අතර විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ නුවන්. ඩී. අල්විස් සහ නිශ්ශංක පීරිස් යන අය සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටිනු ලැබුවා. කෙසේ නමුත්, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ කේසවන් සජන්දන් සහ නීතිඥ බෙනස්ලන් යන අය සමඟ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
