බොරැල්ල මාරක අනතුරේ සැකකාර රියදුරු ගංජා පානය කර සිටියේ දින හතරකට කලින් ! – නීතිඥවරු කියයි. පුතාට බොරු මඩ ගහන්න එපා ! – සැකකරුගේ මව ඉල්ලා සිටියි

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දී මාරක රිය අනතුරක් සිදු කළ දොඹකරයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මක ව පැවති බවත්, ඇන්ජිම අක්‍රිය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත්, විමර්ශනවල දී අනාවරණය වී ඇති බව බොරැල්ල පොලිසිය විසින් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) දන්වා සිටිනු ලැබුවා.

රථය අධික ලෙස රත් වීම හේතුවෙන් තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත් වන බව දැන දැන ම සැකකාර රියදුරු රථය මාර්ගයේ ධාවනය කර ඇති බව ද පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටි අතර, මීටර් දෙසීයක පමණ දුරක සිට රථය තිරිංග ක්‍රියාකාරීත්වයකින් තොරව ධාවනය වී ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.

එසේ පොලිසිය විසින් කළ කරුණු දැක්වීම් හමුවේ අත්අඩංගුවට ගත් දොඹකර රථයේ රියදුරු ලබන අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හා දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් එම්.එන්.රිස්වාන් නියෝග කරනු ලැබුවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන් කියා සිටියේ, 28 වන දා පෙරවරු 8.45ට පමණ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදු වූ මෙම රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස්, තවත් පුද්ගලයන් හත් දෙනකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

තව ද අනතුරෙන් යතුරු පැදි 06කට හා කාර් රථ තුනකට හානි සිදු වී ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටිනු ලැබුවා.

එසේ තුවාල ලබා සිටින පිරිස් අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිට ඇති බව අධිකරණයට දැනුම් දුන් බොරැල්ල පොලිසිය සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාව අනුව තහවුරු වී ඇති බව ද අධිකරණය හමුවේ කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින්, රථයේ හිමිකරු වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළ නිලධාරීන් සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

එම අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සැකකාර රියදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු ආබාධයකින් තොරව දොඹකර රථය ධාවනය කර තිබෙන බවයි.

එසේ ම හදිසියේ රථයේ තිරිංග අක්‍රිය වීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බව ද සඳහන් කළ නීතිඥවරු සැකකාර රියදුරු හට දොඹකර රථයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික තිබෙන බව ද සැකකරු ගංජා පානය කර සිටි බවට පොලීසිය ප්‍රකාශ කළ නමුත්, ඔහු ගංජා පානය කර තිබෙන්නේ දින හතරකට පෙර බවත් කරුණු වාර්තා කරමින් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව නීතිඥවරු අධිකරණය හමුවේ අවධාරණය කිර සිටියේ, වාහනය පදවන අවස්ථාවේ ඔහු කිසිදු මත් ද්‍රව්‍යයක් පානය කර නො සිටි බවයි.

මෙය චේතනාන්විත ව සිදු කළ අපරාධ ක්‍රියාවක් නොවන බව පැවසූ විත්තියේ නීතිඥවරු, තම සේවාදායකයින් විසින් මියගිය පුද්ගලයා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බව ද දන්වමින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

කෙසේ නමුත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, රථයේ හිමිකරු ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.

මෙම නඩුකරයෙන් අනතුරුව ඉතා සංවේදී ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැකකාර රියදුරුගේ මව කියා සිටියේ, “ගොඩක් අය ෆෝන්වලට, සෝෂල් මීඩියාවලට දාලා තියෙනවා මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරල කියලා. ඒත් මෙයා රෑ 11.30 වෙනකල් නයිට් වැඩ කරලා තමයි උදේ පාන්දර ජපන් එමබ්සියේ වැඩට ගිහිල්ලා තියෙන්නේ. ඒ යන අතරතුරේ දි තමයි එයාගේ වාහනේ බ්‍රේක් හිරවෙලා ඔය සිද්ධිය වෙලා තිබුණේ. අනතුර වෙච්ච වෙලාවේ අපහසුතාවට ලක් වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඉස්පිරිතාලවල ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ කෙනෙක් නැතිවෙලා තියෙනවා. ඒ හැමෝගෙන්ම මම දරුවාගේ අම්මා විදියට සමාව ඉල්ලනවා. උසාවියේදී ඔප්පු වුණා එයා එහෙම දේවල් පාවිච්චි කරලා ඒ අනතුර පත් වුණේ නෑ කියලා. අපහසුතාවට පත් වුණ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හිතාමතා කරපු දෙයක් නෙවෙයි මේක. ඒ නිසා මගේ දරුවාට සමාව දෙන්න කියලා. ඒ හැර කියන්න දෙයක් නැහැ මට. හිතට ගොඩක් කණගටුයි. වේදනයි. මගේ දරුවා කවදාවත් වැරදි දෙයක් කරලා හිරගත වුණ කෙනෙක් නෙවෙයි. ගොඩක් මිනිස්සු එහෙම දෙයක් වුණාම මඩ ගහන්න බලා ඉන්නේ. මම මගේ දරුවාගෙන් වෙච්ච දේට සමාව ඉල්ලනවා. දැන් දරුවාට බන්ධනාගාරගත වෙන්න වුණා. ඒකට කමක් නෑ. එයා ගංජා බීලා ගිහින් වාහනය හප්පාගත්තා කියන මේ වැරදි මතය ප්‍රචාරය කරන්න එපා කියලා මම ඉල්ලනවා. එයා ඉඳලා හිටලා ගංජා පාවිච්චි කරන බව ඇත්ත. යාළුවෙක් එකතු වුණාට ඒ දේවල් කළාට නිතර පාවිච්චි කරන්නෑ. දැන් දින හතරකට කලින් තමයි ගංජා පාවිච්චි කරලා තියෙන්නේ. යාළුවෙක් එක්ක. මෙයා ඉන්නේ බෝඩිමේනේ. උසාවියේදී ඔප්පු වුණා එයා එහෙම දෙයක් පාවිච්චි කරලා ඉඳලා නැහැ කියලා.” යනුවෙනුයි.

Author

Related Posts