කෝටි ගණන් දී පිටරටින් හරක් ගේනවා ! අපේ එළදෙනුන් ආරක්ෂා කරල දෙන්නෙ නෑ ! යැයි කියමින් ගිරාඳුරුකෝට්ටේ ගම්මු පාරට බසිති.

“කෝටි ගණන්දී පිට රටින් හරක් ගේනවා රටේ දියර කිරි කර්මාන්තය දියුණු කරන්න හදනවා. ඒත් පොලිසියට බැරි වුණා මේ දුප්පත් අපි ජීවත් කරවන කිරි එළදෙනුන් ටික හරක් ජාවාරම්කාරයන්ගෙන් බේරලා දෙන්න”  යැයි කියමින් මහියංගණය,  ගිරාඳුරුකෝට්ටේ මාර්ගය කහනියගොඩ හන්දියෙන් හරස් කරමින් පෙරේදා (27) දහවල් 11.00ට පමණ ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ කහනියගොඩ හා මීගහහේන ආදී ගම්මානවල ගම්වාසීන් ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වන අයුරු දැකගත හැකි වුණා.

කහනියගොඩ, මීගහහේන, ගල්පේරුයාය, දෙමටන් ඇල්ල ආදී ගම්මාන රැසක කිරි ගවයන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් හරක් හොරුන් විසින් සොරකම් කර ඇති බවට චෝදනා කරන ගම්වාසීන් සඳහන් කරනු ලබන්නේ, පසුගිය සතියේ බදුල්ල දිසාව භාර උසස් ම පොලිස් නිලධාරියෙක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ද මෙම හරක් ජාවාරම් සම්බන්ධයෙන් පැමිණිලි කළ නමුත්, මේ වන තුරු ගිරාඳුරුකෝට්ටේ පොලීසියෙන් ඒ සම්බන්ධ නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවයි.

කෙසේ නමුත් විරෝධතාකරුවන් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අඩාල වූ අතර, රථවාහන ගමනාගමනය සඳහා අවස්ථාව සලසා දීම වෙනුවෙන් පොලිසිය ගත් උත්සාහයන්වල දී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූයේ තමන් විරෝධතාවයේ යෙදී සිටින විට පමණක් රාජකාරී කටයුතු සඳහා සිය ගණනක් පොලිස් නිලධාරීන් යොදවන අයුරින් තමාට සිදු වන අකටයුතුකම් සෙවීමට පොලිස් නිලධාරීන් යෙදව්වේ නම් මෙවන් තත්ත්වයක් උදා නොවන බවට චෝදනා කරමිනුයි.  

ගිරාඳුරුකෝට්ටේ පොලිසියෙන් කිසි ලෙසින් හෝ තමාට සාධාරණයක් සිදු නොවන බවට චෝදනා එල්ල කිරීම හේතුවෙන් විරෝධතාව පැවැති ස්ථානයට මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අතර,  කාන්තාවන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ යෙදීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරියන් ද කැඳවීමට පොලිසිය කටයුතු කර තිබුණා.

ලක්ෂ 2.5 බැගින් මෙන්ම ඇතැම් විට ලක්ෂ 4 ක් පමණ වියදම් කර රැගෙන ගෙන එන කිරි ගවයන් සොරා ගෙන යෑම හේතුවෙන් තමන් මහත් සේ ආර්ථික වශයෙන් පීඩාවන්වලට පත් වන බවත්,  හීලෑ අලියන් දම්වැල් දමා ගැට ගසන්නා සේ ලොකු දම්වැල් දමා ඉබි යතුරු දමා ගව ගාලේ ආරක්ෂා කර තිබෙන ගවයන් පවා දම්වැල් ඉබි යතුරු පිටින් සොරා ගෙන යෑම හේතුවෙන් තමන් දැඩි වියවුලකට පත්ව සිටින බව විරෝධතාවේ යෙදී සිටි පිරිස පවසා සිටියා.

ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ ස්ථානාධිපති පැමිණ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වන තුරු විරෝධතාවේ යෙදී සිටි පිරිස මාර්ගයෙන් ඉවත් නොවන බව පැවසීමත් සමඟ,   මහියංගණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ආර්. විජේරත්න මැදිහත් ව ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ ස්ථානාධිපති චතුරංග මහතා ගෙන්වා ගම්වාසීන් ඉදිරියේ ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කර ඇති ආකාරයත්,  පොලිසිය සැලසුම් කර ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමත් සමඟ විරෝධතාව අවසන් කරමින් පිරිස විසිර යනු ලැබුවා.

Author

Related Posts