කටුනායක වෙළඳ කලාපයේ සේවකයන්ට අවම පහසුකම්වත් නෑ ! සේවකයන්ගෙන් ඇමතිට පෙත්සමක්

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවාවන් හි නියැලෙන සේවකයන් සඳහා නිසි පහසුකම් නොමැති වීම හා පවතින පහසුකම් අවම වීම හේතු කොට ගනිමින් එම වෙළඳ කලාපීය සේවකයන් විසින් අත්සන් කරන ලද පෙත්සමක් සහිත යෝජනාවලියක් වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් කම්කරු අමාත්‍යවරයා වෙත භාර දීම අද (28) සිදු කරනු ලැබුවා.

ඒ අනුව සේවා කටයුතුවල නියැලෙන දහස් ගණනක සේවකයන් සඳහා දවසේ පැය 24 පුරා විවෘතව පවතින සතොස වෙළඳසැලක්, අසනීප තත්ත්වයන් සඳහා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පිණිස වෛද්‍ය මධ්‍යස්ථානයක් හා එම ප්‍රදේශය සඳහා තැපැල් කාර්යාලයක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ ඇත්තේ.

රාත්‍රී කාලයේ පවා අසනීපයන් සඳහා ගොදුරුවන කාන්තා මෙන්ම පිරිමි සේවකයින් සඳහා ඖෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය පහසුකම් ඇවරිවත්ත ප්‍රදේශය ආශ්‍රිත ව නොමැති වීමත්, ඒ සඳහා සීදුව හෝ මීගමුව ප්‍රදේශවල රෝහල් වෙත යෑමට සිදු ව ඇති බවත් මෙම පෙත්සම භාර දෙනු ලබන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ කටුනායක සංවිධායක ශ්‍යාමලී අමරසිංහ සඳහන් කළා.

තව ද ඇවරිවත්ත ප්‍රදේශය සඳහා තැපැල් කාර්යාලයක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු සඳහා කටුනායක තැපැල් කාර්යාලය වෙත කිලෝමීටර් ගණනාවක් යාමට සිදුව ඇති බවත්, සනීපාරක්ෂක හා අත්‍යාවශ්‍ය භාණ්ඩ රාත්‍රි කාලයේ දී මිල දී ගැනීම සඳහා පැය 24 ම විවෘතව පවතින සතොස වෙළඳසැලක් අත්‍යාවශ්‍ය බවත් එම පෙත්සම මඟින් පෙන්වා දී තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකීය ආර්ථික වර්ධනය සඳහා අමිල මෙහෙයක් ඉටු කරමින් තරුණ සේවකයන් වැඩි වශයෙන් මෙම වෙළඳ කලාපය තුළ සේවාවන්හි නියැලෙන බවත්, ඔවුන්ගේ විශ්වාසය හිමිව ඇති මෙම රජය විසින් මෙම ප්‍රශ්නය පිළිබඳ සාවධාන වී කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් පෙත්සම්කරුවන් පවසා සිටියා.

මෙම පෙත්සම ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරිය වෙත ද භාර දීමට කටයුතු කරන බවයි ඔවුන් අවසාන වශයෙන් සඳහන් කර සිටියේ.

Author

Related Posts