හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කර ඇත.
ඒ මෙම නඩුව අද නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම යන චෝදනාව මත ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුවරයා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන බැවින් පුරප්පාඩුව සඳහා නව විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අද දින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එහිදී නව විනිසුරු මඬුල්ලක් පත් කරන තුරු මෙම නඩුව කැඳවීම සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් 18 වන දා යළි කැඳවීමට නියම විය.
