රට හැර ගිය වෛද්‍යවරුන් මවුබිමට සේවය කිරීම සඳහා සූදානම් ව සිටි නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ ඒ සඳහා නිසි නියාමනයක් සිදු නො වන නිසා බරපතළ තත්ත්වයක් හට ගෙන ඇති බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදිමදි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ඔහු පවසන්නේ.
විවිධ හේතූන් මත රට හැර ගිය හෝ සේවය හැර ගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර නොදක්වන බව සඳහන් කරමින් ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ, පසුගිය කාල සීමාවේ දී රට හැර ගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කිරීමේ දී එම වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සලකා ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් බඳවා ගත නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි.
මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් දුෂ්කරතා මතුව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වෛද්‍යවරුන් වෙත පෙන්වා දී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
රට හැර ගිය වෛද්‍යවරුන්ට යළි සේවයට පැමිණෙන ලෙසට සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ දී අවස්ථා ගණනාවක් ප්‍රකාශ කළ නමුත්, යළි සේවයට වාර්තා කිරීමට කැමැති වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මෙය නම් එය ඉතා කණගාටුදායක බව ඒ මහතා අවධාරණය කර කියා සිටියා.
කෙසේ වෙතත්, රට හැර ගිය සහ නැවත සේවයට එක්වීමට කැමති රාජ්‍ය සේවය හැර ගිය නියමිත වයස් සීමාවේ සිටින සියලු වෛද්‍යවරුන්ට පොදු සමා කාලයක් යටතේ අවස්ථාව ලබා දීම කාලෝචිත පියවරක් බවයි ඔහු අවසාන වශයෙන් පෙන්වා දෙනු ලැබුවේ.
