මුව දඩයමේ ගිය පොලිසියේ දෙකක් අත්අඩංගුවට

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

මෙම ප්‍රශ්නකිරීමේ දී තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3ක්ද පොලීසිය සිය භාරයට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. එම්. එම්. චන්ද්‍රසිරි මහතා පවසා සිටියා.

ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනාගෙන් සහ සිවිල් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී හෙළි වී ඇත්තේ, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මුව දඩයමේ පැමිණ ඇති බවයි.

එමෙන්ම ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු බව පවසා තිබෙනවා.

මුවදෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යාමටත්, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු නිසාත් ඔවුන් මෙම පොලිස් සැරයන් සහෝදරයාගේ සහාය පතා තිබුණා.

ඒ අනුව අදාළ සහෝදර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් සැරයන්වරයකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩිතැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම සැකකරුවන් සිව්දෙනා ගිරානේගම පොලීසියේ රඳවා තබාගැනීමේ අවදානමක් පැවතීම නිසා ඔවුන් අද (26) අලුයම දඹුල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඇත.

මේ අතර ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බව ප්‍රකාශ කරමින් මකුළුගස්වැව පොලීසියේ පොලිස් ජීප් රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසා සිටියා.

මුවදෙන ඝාතනය කර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් බව ද සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අනවසර ගිනිඅවි ළඟ තබාගැනීම, රක්ෂිතයේ සිටි මුව දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම යන චෝදනා එල්ලකර ඇත.

ඔවුන් අද දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Related Posts