අගෝස්තු පළවෙනිදා ඉඳන් මාලදිවයින් ජාතිකයින්ට ලංකාවේ වීසා සිස්ටම් එක වෙනස් වෙයි…
Hotel Show Colombo – 2025 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
17 වන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරයි.
1998 වසරේ ඇරඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත. Hotel Show Colombo ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වූ බව වාර්තා වේ.
උත්සව සභාව අමතමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණුවෙමින් පවතින බවයි. එබැවින් ඒ පිළිබඳ සියලුදෙනාට සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන ප්‍රධාන සාධකයක් බවට සංචාරක කර්මාන්තය පත්වනු ඇති බවද සඳහන් කළේය.
සංචාරක අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
“පසුගිය කාලයේ රටවල් 7ක් සඳහා වීසා අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබල දුන්නා. එක්සත් රාජධානියත් එයට අයත් වන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් 40කට වීසා ගාස්තු නොමැතිව වීසා ලබා දෙන්න පහසුකම් ඇති කරන්න. තීන්දුව ගන්නකොට ඇත්තටම රජයට සෘජුව ලැබෙන අදායමක් අහිමි වුණා. ඩොලර් මිලියන 66ක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට අහිමි වුණා. ඒ පාඩුව දරාගෙන ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට ඒ තීන්දුව ගන්න මැදිහත් වුණා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත් සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් ඊට වඩා වැඩි අදායමක් රටට ගන්න. මාලදිවයින් ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනාවක් මත අපේ ජනාධිපතිතුමාත් මමත් ඇතුළු අපේ කණ්ඩායම ලබන සඳුදා රාජ්‍ය නිළ ආරාධනාවට අනුව මාලදිවයිනට යනවා. එහිදී අප බලාපොරොත්තු වෙනවා අපේ ලංකාව තුළ හෝටල් ක්ෂේත්රයට සැපයුම් ලබා දෙන ඔබට මාලදිවයිනේ හෝටල් ක්ෂේත්රයට සැපයුම් ලබා දීමට පුළුවන් අවස්ථා පළල් කරන්න.
අපි මේ අගෝස්තු පළවෙනිදා ඉඳලා මාලදිවයින් ජාතිකයන්ට වසරක් සඳහා විසා ලබා දෙනවා…”
Hotel Show Colombo සංවිධාන කමිටුවේ සභාපති ට්‍රෙවින් ගෝමස්, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්රික් පෙරේරා යන මහත්වරු ඇතුළු හෝටල්, හොටල් ආශ්රිත සැපයුම් සහ සේවා ආදී සංචාරක ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
