ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් – ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ වධ හිංසනයට භාජනය කර අත්අඩංගුවේ රඳවා තබා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා…

ගම්පහ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කුරේ, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවේ රඳවා තබාගෙන වධ හිංසනයට ලක් කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්.ඩී. නවාස් මහතා විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

මෙම පොලිස් අධිකාරිවරයා එවකට ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී, නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් 2010 වසරේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

2009 වසරේ අගෝස්තු මස 12 වනදා ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් කිසිදු ආකාරයක සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් මෙම පොලිස් අධිකාරිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13(2) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බව අදාල පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

ඒ අනුව රජය විසින් රුපියල් 30000/- වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් අධිකරණය නියෝග කරන ලදී. එසේම පෙත්සම්කරු වධ හිංසනයට භාජනය කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 3 බැගින්ද තවත් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පුද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 2 බැගින්ද පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මේ සිද්ධියට අදාළව මෙම පොලිස් අධිකාරිවරයා වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවත් නඩුව විභාගයේදී ප්‍රකාශ වී ඇත.

Author

Related Posts