කැකිල්ලේ නඩු තීන්දු මඟින් වරදකරුවන් කළ අහිංසකයන් හිරේ සිටිය දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබියදීත් ඒ සඳහා පියවර නොගත් හමුදා අණදෙන නිලධාරියා පාර්ලිමේන්තු සභාවේ සිටින බව කියමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඒ අනුව මන්ත්‍රීවරයා අවධාරණයෙන් විමසා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ව තොරතුරු ලැබී තිබිය දීත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නො ලැබීමට හේතු වූ මහමොළකරු හෙවත් Big Boss කවුරුන් ද යන්න යි.
ඊයේ පාර්ලිමේන්තු සභාවාරය තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ව මෙම ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව එතෙක් හෙළි නොකළ කරුණු සම්බන්ධයෙන් පළමු වරට කරුණු පළ වූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ B/35882/24 යටතේ ඉදිරිපත් කරන බී වාර්තාව ඔස්සේ බවයි.
කෙසේ නමුත් 2024 නොවැම්බර් 11 වන දින ඉදිරිපත් කරන ලද එම බී වාර්තාවේ චැනල් 4 නාලිකාව හරහා විකාශය වූ අසාද් මව්ලානා ගේ හෙළිදරව්ව මුල් වාර්තාව ලෙස අන්තර්ගත වූ බවත්, ඉන් අනතරුව සිරිල් ගාමිණී පියතුමා විසින් තමන්ට ලැබුණු වට්සැප් පණිවිඩය සම්බන්ධයෙන් සිදු කළ හෙළිදරව්ව අන්තර්ගත බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, පියතුමා වෙත ලැබුණු එම වට්සැප් පණිවුඩයේ සඳහන් ව තිබුණේ “අසාද් මව්ලානා ජිනීවා මානව හිමිකම් කවුන්සලය ලබා දුන් සාක්ෂි මත සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගෙන තිබූ බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ දෙදෙනාට ම විරුද්ධව විදේශ ගත වීම වැළැක්වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නියෝගයක් ගෙන තිබූ බවත්” වැඩිදුරටත් කියා සිටියා.
තව ද මන්ත්‍රීවරයා කියා සිටියේ එම සැකකරුවන් දෙදෙනා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ හැර අන් කිසිවෙකුත් නොවන බවයි. නමුත් අද දක්වා මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හෝ මොවුන්ව මෙම නඩුවේ සැකකරු වශයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරලා නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කරමින් පෙන්වා දෙනු ලැබුවා.
තව ද එම විශේෂ ප්‍රකාශය තවදුරටත් විග්රහ කරමින් නිසාම් කාරියප්පර් මහතා පවසා සිටියේ, විශේෂ ඔත්තුකරුවකු තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායට සහරාන් ගැන තොරතුරු ලබා දී ඇති බව සී අයි ඩී වාර්තාවේ සඳහන් වන බවත්, එම නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නම්, පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව වාර්තාවේ සඳහන් වූ බවත් ය.
“මේ දක්වාම මෙහි සඳහන් බුද්ධි නිලධාරීන් එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒත් වවුනතිව් ප්‍රදේශයේ උප පොලිස් පරීක්ෂක විජේනායක මහතාට දෙමළ පරිවර්තනය කිරීම සඳහා ගිය අහිංසක සාජන් කෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරලා තියෙනවා. සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන් පිට, අණදෙන නිලධාරීන් පිට, ඒ අවස්ථාවේ නැගෙනහිර පළාතේ ආරක්ෂක අංශ මූලස්ථාන අණදෙන නිලධාරියා පාර්ලිමේන්තුව ඇතුළෙ. මේක කැකිල්ලේ තීන්දුව වගේ වැඩක්.” යනුවෙන් මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරනු ලැබුවා.
ජනවාරි 07 අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශයක් කළා. “අපි බලයට පත් වුණාට පස්සෙ විමර්ශනය නව අදියරකින් ආරම්භ කර තිබෙනවා. එම නව විමර්ශනය 2024.11.11 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 35882/24 බව. ඒ තමයි මේ මගේ අතේ තිබෙන බී රිපෝට් එක. ඒක මෙච්චර කල් සේප්පුව ඇතුළෙ හංගලා තිබ්බෙ. එහි දී කිව්වා දැනට විමර්ශන සිදු කරගෙන යනවා. මේ දක්වා කරන ලද විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙක් හමුදා සාමාජිකයන් 07 දෙනෙක් පොලිස් නිලධාරීන් 26 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් 03 දෙනෙක් ඇතුළු 48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා කියල. අද අධිකරණ අමාත්‍යවරයා හිටියා නම් අහන්න තිබ්බා. මේ 48 දෙනාගෙන් එක් අයෙකුගේවත් සාක්ෂි මේ පොත ඇතුළෙ නෑ. කවුද මේවා නවත්වන්නේ ? මේවා අධිකරණය ඉදිරියට පැමිණවීම කවුද වළක්වන්නේ ? මේවා පිටිපස්සේ ඉන්න Big boss” යනුවෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා.
“2018 ඔක්තෝබර් 26 වන දා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති ව පහ කරලා මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා දෙනවා. නොවැම්බර් 09 වන දා අපගේ වීර වික්‍රම විභූෂණ එවකට මේජර් ජනරාල් අරුණ ජයසේකර නැගෙනහිර පළාතේ හමුදා අණදෙන නිලධාරියා බවට පත්වනවා. සති දෙකක් වත් නෑ. ඉන් අනතුරුව තව සති 03 කින් නොවැම්බර් 30 වන දා වවුනතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරනවා. පසුව ඒක කළේ හිටපු එල්ටීටීඊ සාමාජිකයා බව පෙන්නන්න ලොකු නාඩගමක් කරනවා. ඒක හැදුවේ හමුදා බුද්ධි අංශයයි. කොට්ඨාස බුද්ධි අංශයයි. ඒක මේ බී වාර්තාවේ තියෙනවා. හැබැයි ඒකට සම්බන්ධව අර අහිංසක පොලිස් නිලධාරියා ඇරෙන්න හමුදාවෙ කවුරුත් අත්අඩංගුවට ගෙන නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා අවසාන වශයෙන් පවසා සිටියා.
