කාන්තාවන්ට එරෙහි හිංසනය සහ ප්රචණ්ඩත්වය යන්න සමාජ ප්‍රශ්නයක්… කොළ වල ලියා නීති ගත කළ පමණින් ඒ ප්රශ්නය විසඳන්න අමාරුයි…
කාන්තාවන්ට රාත්‍රී සේවා මුර සඳහා යොදාගැනීමට හැකි පරිදි 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත යටතේ නිකුත් කර ඇති 03 වන නියෝගය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය 14 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. මේ සම්බන්ධව වෘත්තීය සමිති සහ සමාජය තුළ සැලකියයුතු මට්ටමෙන් නොවුණත් යම් කතා බහක් ඇති වෙමින් පවතී. මේ පිළිබඳව What News අප නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ අදහස කුමක්ද යන්න සංවිධායක ලේකම් හේමමාලි අබේරත්නගෙන් විමසා සිටියා. මේ පිළිබඳව ඇය FB සටහනක්ද තබා තිබුණා.
මෙහිදී හේමමාලි අබේරත්න පවසා සිටියේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට වන දායකත්වය පුළුල් කිරීම සහ සහභාගීත්වය වැඩි විය යුතු බව අනිවාර්යයෙන්ම පිළිගන්නා බවයි. නමුත් මෙය සිදු කිරීමේදී ඉටා අදාළව වැඩ පරිසරය තුළ සහ සමාජයේ කාන්තාවන් සම්බන්ධව පවතින තත්ත්වයන්ද අනිවාර්යයෙන් වෙනස් විය යුතු බවයි. කාන්තාවන් ලිංගික භාණ්ඩයක් ලෙස අලෙවි වන සහ ශ්‍රමය සූරා කන නව ලිබරල් ධනවාදී සමාජය තුළ කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීම සඳහා පමණක් නීති සංශෝධනය කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතු කරන බව ඇය පවසයි.
මෙම පනත් සංශෝධන පැමිණෙන සන්දර්භය කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ඇය පවසයි. එනම් මෙම සංශෝධ කරලියට එන්නේ IMF යෝජනා, කොන්දේසි සහ තනි කම්කරු නිතිය සමගින්ය. තනි කම්කරු නීතිය තුළ පවතින්නේ ස්ත්‍රී පුරුෂ සමාන ඉඩප්රස්ථා සහිත වැඩ ලෝකයක් සකස් කිරීම නොව හාම්පුතුන්ට අවශ්‍ය පරිදි සේවකයන්ගෙන් වැඩ ගැනීම සඳහා ඉඩප්‍රස්තාව සකස් කිරීමකි.
එම නිසා මෙම නීති සංශෝධන සමගම කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව සම්මත කිරීම අනිවාර්යය. මක් නිසාද යත් රාත්‍රියේ තබා දහවල් කාලයේවත් පාරේ තනිව ගමන් කළ නොහැකි තත්ත්වයක් සමාජය තුළ පවතී. සමාජය ඉතාමත් නරක ලෙස හිංසාකාරී තත්වයකට පත්වීම කෙරෙහි ඓතිහාසිකව මේ රට පාලනය කළ පාලකයන්ද වග කිව යුතුය. මෙයින් පැහැදිළි වන්නේ කාන්තාවන්ට එරෙහි හිංසනය සහ ප්රචණ්ඩත්වය යන්න සමාජ ප්‍රශ්නයක් බවයි.
කාන්තාවන් ශ්‍රම වෙළඳ පොළට පැමිණිය යුතුයි. නමුත් ඊට එහා ගිය අයගේ ජීවිතය සහ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති බව හේමමාලි අබේරත්න පැවසුවා.
මෙම සංවාදයේදී කාන්තාවන්ට රාත්‍රී වැඩකිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන බොහෝ දෙනෙකුට අමතක වෙන කාරණයක් වී ඇත්තේ රාත්‍රී වැඩකරන කාන්තාවන්ට සුරක්ෂිත වටපිටාවක් සහ අනෙකුත් පහසුකම් සැපයීමට අවශ්‍ය කෙරෙන කම්කරු නීති ක්‍රියාත්මක වෙයිද නැද්ද යන්නයි.
මන්ද මෙම කැබිනට් තීරණය පැමිණෙන්නේ කම්කරු නීති සංශෝධනය කරමින් තනි කම්කරු නීතියක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම්ව සිටින මොහොතක වීම විශේෂත්වයකි. එසේම මෙය ආණ්ඩුව මැති ඇමතිවරු කාන්තා ශ්‍රම බලකාය වැඩිකළ යුතු බවට නිරන්තරයෙන් මතුරමින් සිටින වකවානුවකි.
සාප්පු සහ කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ)පනත මගින් සාප්පු හා කාර්යාල සේවකයින්ට සේවා පහසුකම්,සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධිවිධාන නියම කර ඇති අතර එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාල නියෝගය නිකුත් කිරීමට බලතල ලබාදී ඇත.
දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ, හෝ කාන්තා වැසිකිලි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරැ 6.00 පසුව සහා පෙරවරු6.00 ට පෙරවෙහි නියුක්ත කරනු ලැබිය නොහැකිය.
එසේ වුවද නේවාසික හෝටල් සහ අවන්හල් සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවක් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී10.00 දක්වාම පමණි.
මේ නව සංශෝධනය අනුව නේවාසික හෝටල් සහ අවන්හල් සේවයේ යෙදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00 ට පසුව සහ පෙරවරු 6.00 ට පෙර සේවයේ යෙදීමට හැකිවන පරිදි සාප්පු සේවක පනත සංශෝධනය කෙරේ.
ගැටලුවක් ලෙස පවතින්නේ මේ ආකාරයට රාත්‍රී සේවා මුරවල යෙදෙන කාන්තාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට උනන්දුවක් දක්වන්නේද යන්නයි. දැනටත් ක්ෂේත්‍ර රැසක කාන්තාවන් රාත්‍රී සේවා මුරවල යෙදී සිටී. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත වටපිටාව, ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට සේවා කරන ස්ථාන කටයුතු කරන්නේද යන්න ගැටලුවක් ලෙස පවතියි. ඒ සඳහා දැනට ඇති කම්කරු නීති හෝ ක්‍රියාත්මක වෙනවද යන්න ගැන වගවීමක් නැත. රාත්‍රී සේවා මුරවල යෙදෙන සෞඛ්‍ය ක්ෂේත්රයේ කාන්තාවන් කොතරම් අනාරක්ෂිතද යන්න ගැන උදාහරණ රැසක් මෑතකදී අහන්නට ලැබුණි. ඒ රාජ්‍ය සේවයයි. පෞද්ගලික අංශයේ සේවිකාවන්ගේ ආරක්ෂාවේ මට්ටම මීටත් වඩා පහළ පවතියි.
ආරක්ෂාව සහතික කිරීමට අමතරව රාත්‍රී සේවා මුර සඳහා කැමැත්ත විමසීම, පැය 08ට වඩා වැඩකිරීමේදී අතිකාල දීමනා ගෙවීම, රාත්‍රී කාලයේදී වැඩකරන්නන් සඳහා වැඩි වැටුප් ගෙවන ක්‍රමවේද කොතරම් දුරට සුරක්ෂිත වේද යන්න සැක සහිතය. මන්ද දැනට යෝජනා කර ඇති තනි කම්කරු නීතිය හරහා පැය 08 වැඩ දිනය වෙනස් කිරීමේ සිට රාත්‍රී සේවා මුරවලදී කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය විමසීමද ඉවත් කිරීමට නියමිතය.
එසේම තවමත් දරුවන්ගේ වගකීම් බොහොමයක් කාන්තාවන් මත පැටවී ඇති නිසා දරුවන්ගේ සුරක්ෂිතාවය තහවුරු කරන ආකාරයේ පහසුකම් සැපයීමක් ගැන ආණ්ඩුව අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. දහවල් සේවා මුරවල යෙදෙන කාන්තාවන් පවා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ දරුවන් රැකබලා ගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීමයි. දැනට දරුවන් සඳහා තිබෙන පෞද්ගලික අංශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය මෙන්ම ඒවා වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීම විශාල ගැටළුවක් වී තිබේ.
මෙම පහසුකම් සැපිරිමකින් තොරව ඇය ශ්‍රම වෙළඳපලට වැඩි වැඩියෙන්ම කැඳවීම තුළින් සිදුවන්නේ ඇයගේ ආර්ථික ස්වාධීනත්වය ලබාදීමට වඩා විශාල ශ්‍රම සුරාකෑමක් වෙත ඇයව නිරාවරණය කිරීමයි. එමෙන්ම නිදහස, විවේකය, සතුට පමණක් නොව ඇගේ සුරක්ෂිතාවය සහ දරුවන්ගේ සුරක්ෂිතතාවය සමාගම්වල විශාල ලාභ වෙනුවෙන් බිල්ලට දීමයි. මෙහි බරපතල තත්වය වන්නේ මෙම තත්වයන් වෙනස් කිරීම සඳහා ඇයව එක මිටට එකතු කල මේ ආණ්ඩුවට හැරෙන තැපෑලෙන් මෙය අමතක වීමයි.
