අලි මරණ පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්හෙළි කරන්න පොලීසියේ- CID යේ සහාය

වන අලි සහ ඇතුන් බහුලව ගැවසෙන රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල භාවිත කරන නීතිවිරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රාදේශීය පොලිස් නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ මහතා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වන අලි ඇතුන් බොහෝ දෙනෙක් මේ වන විට දඩයක්කරුවන්ගේ හෝ අනවසර ගිනි අවි දරන්නන්ගේ හෝ ගොවීන්ගේ හෝ ගිනි අවි ප්‍රහාරයන්ට ලක් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සීගිරිය, දිගම්පතන මුරුංගාහිටිකන්ද වන සංරක්ෂණ ප්‍රදේශය ආශ්‍රිතව වසරකට පමණ පෙර මිය ගිය වන අලි දෙදෙනෙක් හා ඇතකුගේ සිරුරු පසුගියදා හමුවී තිබුණා.

මේ හැරුණු කොට ගල්ගමුව, ඇහැටුවැව, සියඹලන්ගමුව ඔය ආශ්‍රිත කැලෑබද ප්‍රදේශයේදී මිය ගිය ඇතකුගේ සිරුරක් පෙරේදා (22) හමු වුණා.

වෙඩි තබා ඝාතනය කර ඇති එම ඇතා අවුරුදු 15ත් 20ත් අතර වයස්ගත බව පෙනී ගොස් තිබෙනවා.

දිගින් දිගටම මෙසේ සිදු වෙමින් ඇති වන අලි ඝාතන වැළැක්වීම උදෙසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර දිගින් දිගටම සිදු වන මේ අලි මරණ අවම කරගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් විශේෂ විර්ශනයක් සිදු කර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපිය මඟින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම වන අලි සහ ඇතුන් මියගොස් සිටි ස්ථානයන්හි ආරක්ෂාව සැලසීම සම්බන්ධව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කලාපීය වනජීවි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) කණ්ඩායමක සහාය ද ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

වෙඩි තැබීම, විදුලි රැහැන්වල ගැටීම, දළ ගලවා ගැනීමට ඝාතනය කිරීම වැනි හේතුන් නිසා මෙසේ වන අලින් මරණයට පත් වන බැවින් මෙවැනි දේ වැළැක්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසුවේ වනඅලින්ට වෙඩි තබා ඝාතනය කිරීම සැලසුම් සහගතව සිදු වන ක්‍රියාවලියක්දැයි සැක සහිත බවයි.

මිය ගොස් සිටින බොහෝමයක් අලින්ගේ පාදවල දණහිසෙන් පහළ ප්‍රදේශවලට වෙඩි වැදී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළා.

සංවිධානාත්මක ක්‍රියාවලියක් මඟින් වනඅලි ඝාතන රැලි දෙකක් නිර්මාණයකර ඇති බවත් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ දෙවනි රැල්ල බවත් අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

අලි මිනිස් ගැටුම හේතුවෙන් 2025 වසරේ මේ දක්වා මිනිස් ජීවිත 73ක් ද, වනඅලි 232ක් ද අහිමිවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

Author

Related Posts