විදේශ රැකියා හා අධ්‍යාපන කටයුතුවලට රට යවනවා යැයි කියමින් මුදල් වංචා කළ යුවළක් අත් අඩංගුවට

දිවයිනේ විවිධ පළාත් වල පුද්ගලයන්ගෙන් විදේශ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යවන බව පවසමින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කර, පදිංචි ව සිටින ලිපිනයන් ද වෙනස් කරමින් සැඟව සිටි යුවළක් ඉකුත් (21) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කර සිටියා.

තිස්නව හැවිරිදි සැකකරු නුවර පාර, පේරාදෙනිය, ගාලු පාර, ගල්කිස්ස හා දෙහිවල ස්ථීර පදිංචිය ලෙස සඳහන් කරමින් සැගව සිට ඇති අතර, ඔහුගේ බිරිද නාම්පමුණුව, පිළියන්දල ප්‍රදේශවල පදිංචිව සිටිමින් සැඟව ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.

කෙසේ නමුත්, පදිංචි ව සිටි එකී ස්ථාන විටින් විට වෙනස් කර, පොලිසිය හා අධිකරණය මඟ හරිමින් සිටි මෙම යුවල අත්අඩංගුවට ගැනීමට පෙර අවසාන වරට බොරලැස්ගමුව ප්‍රදේශයේ හෝටල් කාමරයක රැදී සිට ඇති බවයි සඳහන් වන්නේ.

මෙම යුවළ එක් අයකුගෙන් ආසන්න ව රුපියල් ලක්ෂ දෙක හා තුන වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා සහගත ව ලබාගෙන ඇති අතර, ඉන් අනතුරුව රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් ද සමග තම පදිංචිය වෙනස් කර මෙලෙස විවිධ ප්‍රදේශ වල හෝටල් කාමර මාරු කරමින් අධිකරණය හා පොලිසිය මග හරිමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසා සිටියේ අත්අඩංගුවට පත් මොහොත වන විට, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කුරුණෑගල, පැලියගොඩ, මීගමුව, හලාවත, මොරටුව, වැලිසර යන ප්‍රදේශ වල අධිකරණයන් මගින් ස්වාමි පුරුෂයාට විවෘත වරෙන්තු 13 ක් හා බිරිඳට විවෘත වරෙන්තු 10 ක් වශයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවයි

මේ සම්බන්‍ධ වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ අධීක්ෂණය මත හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිමුතු රත්නායක මහතාගේ මෙහෙයවීම මත, පොලිස් සැරයන් 71022 ජයතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන 51857 විපුල, 103224 ගුණසේකර යන නිලධාරීන් විසින් සිදු කරමින් පවතින බවයි සඳහන් වන්නේ.

මූලාශ්‍රය – අද ලංකාදීප පුවත්පත

Author

Related Posts