ඛනිජ තෙල් සංස්ථාව බිලි­යන 884ක් රජ­යට ණයයි…

ඛනිජ තෙල් සංස්ථාව රජ­යට ණය රුපි­යල් බිලි­යන 884ක් ඇති බවත් මේ වන විට එයින් අඩක් ගෙවා අවසන් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඊයේ (22) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. එම ණය වලින් අඩක් පමණ මේ වන විට ගෙවා ඇති බවත් අදාළ ණය ගෙවූ පසුව ඉන්ධන මිල අඩු කිරීම ගැන සලකා බැලිය හැකි බව ද බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම ණය ගෙවීම සඳහා මේ වන විට රුපියල් 50ක බද්දක් එකතු කර ඇති අතර ඊට අමතරව ඉන්ධන සඳහා ස්ථාවර බදු එකතු කර ඇති බව ඔහු සඳහන් කළා.

එහිදී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියේ,

“පිට­ර­ටින් ඉන්ධන මිල දී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාස­ය­කම ප්‍රකා­ශ­යට පත් කළා. නමුත් පසු­ගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකා­ශ­යට පත් කළේ නෑ. ලංකා­වට එන මුදල, ගොඩ­බෑමේ ගාස්තුව ආදි වශ­යෙන් ඒ අය කිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩ­වියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විප­ක්ෂයේ සිටින විට කිවුවේ මේ තෙල්ව­ලින් මෙච්චර මුද­ලක් ගහ­නවා. කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට මෙච්ච­රක් යනවා කිය­ලානේ. මේ ජූනි මාසයේ තෙල් ගොඩ­බෑමේ විස්ත­රය මං ළඟ තිබෙ­නවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 161.18යි. ඒත් ඉන් රුපි­යල් 120.42ක් රජය බදු වශ­යෙන් ජන­තා­ව­ගෙන් ගන්නවා. දැන් ඕක තමයි කිවුවේ කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහ­නවා 145.29ක්. ඊළ­ඟට ලංකා ඔටෝ ඩීසල් ලීට­ර­යක් ගේන්න 185.67යි, ඒකෙන් බදු ගහ­නවා රුපි­යල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීට­ර­යක් ගේන්න රුපි­යල් 157.84යි, ඉන් බදු ගහ­නවා 120.67ක්. මේ බදු අඩු කරලා සහ­නය දෙනවා කිවුවා. හැබැයි කවදා ද මේ බදු අඩු කරලා සහ­න­යක් දෙන්නේ. බදු අඩු කළොත් රුපි­යල් 161.18කට පෙට්‍රල් ලීට­ර­යක් දෙන්න පුළු­වන්.” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් ඇමැති කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ බදු ආදායම මිලියන දෙලක්ෂ අසූහතරදහස් හාර¬සිය තිස් එකක් බවත් ඉන්ධන අලෙවියේදී වංචා සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවයි. එසේම එම විමර්ශන අවසන් වූ පසු වංචා දූෂන සිදුව තිබේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වන බැවින් වංචාවන් සිදුව ඇත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

“ප්‍රභේද දෙකක් තිබෙ­නවා. එකක් ප්‍රිමි­යම් එක හරහා සාක්කු­වට යන එක. අනෙක බදු මුදල් සාක්කු­වට යන්න බෑණේ. ආණ්ඩු­ව­ටනේ යන්නේ. ප්‍රිමි­යම් එක මෙට්‍රික් ටොන් එක ඩොලර් 35ට 37ට තිබුණු එක, දැනට 03ට ආසන්න ප්‍රමා­ණ­ය­කට තමයි අය වෙන්නේ, එත­කොට හිතා­ගන්න පුළු­වන්නේ කෝකද සාක්කු­වට ගියේ කියලා. නමුත් බදු ප්‍රශ්නය ගත්තම, ඔය එදා සිට තිබුණු බද්ද තමයි අය කරන්නේ. රජයේ සාමා­න්‍ය­යෙන් අය කරන වැට් සහ අනෙ­කුත් බදු සමඟ අපි ආණ්ඩුව ගන්න විටත් රුපි­යල් බිලි­යන 884ක ණය තිබුණා. ණය මුදල් තවම ගෙවා අව­සන් නැහැ. ඒ ණය මුදල් දැන් භාග­ය­කට ආස­න්න­යෙන් ගෙවලා තිබෙන්නේ. ඒ ණය මුදල සම්පූ­ර්ණ­යෙන් ගෙවලා අව­සන් වූ පසුව අපිට සලකා බලන්න පුළු­වන්. ඒ මුදල අයින් කරන්න. ඒ ඇරෙන්න අනෙක් ඒවා සාමාන්‍ය බදු පම­ණයි තියෙන්නේ.

දීර්ඝ කාල­යක් පාර්ලි­මේ­න්තුවේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු ලෙස මීට වඩා වග­කී­මෙන් ප්‍රශ්න ඇහුව නම් හොඳයි. ජූලි පළමු වැනිදා මිල තීර­ණය කරන්නේ ජූනි මාසයේ දත්ත පද­නම් කර ගනි­මින්. ඩීසල් ගත්තොත් රුපි­යල් අටක් පාඩු­වට තමයි දැනුත් විකු­ණන්නේ. ක්‍රම­වේ­දය ගැන යම් අව­බෝ­ධ­යක් තිබුණ නම් හොඳයි.“

Author

Related Posts